නවතම පුවත්

“ඩිජිටල් වේදිකාව නූතන අධ්‍යාපනයට අනගි අවස්ථාක්” – ජනපති

අසංක

අසංක

“රටක චින්තනය සහ දර්ශනය ගොඩනැගෙන්නේ එරට අධ්‍යාපන ක්‍රමය තුළින්. යල් පැනපු අධ්‍යාපන ක්‍රමයකින් බිහි වන්නේ නූතන ලෝකය සමග ඉදිරියට ගමන් කළ නොහැකි සමාජයක්. පුළුල් මහජන නියෝජනයකින් සැකසෙන ප්‍රතිපත්තියක් ආණ්ඩු පෙරළියකදී වෙනස් කරන්න බැහැ. ” යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

“ඩිජිටල් වේදිකාව” අදහස් සහ නිර්මාණශීලි යෝජනා ඉදිරිපත් කර “තිරසර අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුවක්” සකස් කිරීමට ජනතාවට ලැබෙන අනගි අවස්ථාවක් බව ජනාධිපතිවරයා එහිදී පෙන්වා දුන්නේය.

යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව මහජනතාවගේ අදහස් ලබා ගැනීම සඳහා වන “ඩිජිටල් වේදිකාව” දියත් කිරීම පිණිස අද (26) පෙරවරුවේ අරලියගහ මන්දිරයේ පැවති උත්සවය අමතමින් ජනාධිපතිවරයා මේ බව පැවසීය.

21 වැනි ශතවර්ෂයට ගැළපෙන අයුරින් දැනුම පාදක කොටගත් මානව ප්‍රාග්ධනය සැලසුම් කොට පෝෂණය කිරීම “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයේ ප්‍රමුඛ පරමාර්ථයක් බව ජනාධිපතිවරයා සඳහන් කරයි.

ඒ සඳහා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රැසක් ක්‍රියාත්මක කළයුතුය. රටේ අනාගත පරපුර දැනුමෙන්, කුසලතාවෙන් පිරිපුන් පරපුරක් ලෙස ලෝකය හමුවට ගෙන යාම “නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයෙන්” තමා අපේක්ෂා කරන බව රාජපක්ෂ මහතා කියා සිටී.

“නැණසත් මනසත් පොහොසත් කරන පිරිපුන් අධ්‍යාපනයක් කරා” යන්න “ඩිජිටල් වේදිකාවේ” තේමාවයි.

“ඩිජිටල් වේදිකාව” නිල වශයෙන් විවෘත කිරීම ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණ.

අද සිට ඉදිරි මාස 03 ක කාලයක් පුරා egenuma.moe.gov.lk වෙබ් අඩවිය ඔස්සේ ජනතාවට නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා වන යෝජනා සහ අදහස් “ඩිජිටල් වේදිකාවට” යොමු කිරීමට පිළිවන. පෙර පාසල් අධ්‍යාපනය, ප්‍රාථමික සහ ද්වීතීයික අධ්‍යාපනය, වෘත්තීය සහ තෘතීයික අධ්‍යාපනය සහ උසස් සහ වෘත්තීය අධ්‍යාපනය ලෙස ප්‍රධාන උප ක්ෂේත්‍ර 04ක් යටතේ ප්‍රතිසංස්කරණ යෝජනා ඉදිරිපත් කිරීමට අවස්ථාව ලැබේ. තිරසර අධ්‍යාපන ප්‍රතිපත්තියක් සඳහා වඩාත් පුළුල්ව මහජන අදහස් සහ යෝජනා ලබා ගැනීමට “ඩිජිටල් වේදිකාව” විවෘතව පවතී.

උසස් අධ්‍යාපනයට ප්‍රවේශවීමට වැඩි අවස්ථාවක් සැලසීම ප්‍රතිසංස්කරණවල තවත් අරමුණකි. විශ්ව විද්‍යාලවල ක්‍රියාත්මක විෂය නිර්දේශ නවීකරණය සහ ප්‍රතිව්‍යුහකරණය මගින් රැකියා නිපුණතා වර්ධනය අපේක්ෂා කෙරේ.

රැකියාවක නිරතවන අතර තම අධ්‍යාපන සුදුසුකම් වැඩිදියුණු කර ගැනීම සඳහා විවෘත විශ්ව විද්‍යාල පද්ධතිය පූර්ණ වෙනසකට ලක්විය යුතු බව ජනාධිපතිවරයා කියා සිටියේය.

සියලුම ශ්‍රී ලාංකික දරුවන්ට පෙර පාසලේ සිට අංග සම්පූර්ණ අධ්‍යාපනයක් දීම තම අපේක්ෂාව බව කී හෙතෙම දැනට පවතින අන්තර්ජාල සහ තාක්ෂණික අඩු පාඩු 2023 වර්ෂය වන විට සම්පූර්ණයෙන් ඉවත් කරන බව පැවසීය.

ප්‍රෞඩ අතීතයකට හිමිකම් කියන ශ්‍රී ලංකාවට ඊට වඩා ප්‍රෞඩ අනාගතයක් උරුමකරදීම නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මගින් තමා අපේක්ෂා කරන බව ද ජනාධිපතිවරයා කියා සිටියේය.

eගෙනුම වෙබ් අඩවිය

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්