ඉන්දියවේ සංචාරයක නිරත මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ අද දහවල් ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමුවුණා. ඒ, නවදිල්ලියේ පිහිටි පාර්ලිමේන්තු සංකීර්ණයේදීයි.
එම සාකච්ඡාවේදී ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්‍රකාශ කර ඇත්තේ මිතුරෙකු සහ අසල්වැසියෙකු ලෙස ඉන්දියාව සෑම විටම ශ්‍රී ලංකාව සමඟ සිටින බවයි. එම සාකච්ඡාවේදී ආර්ථික සහයෝගිතාව සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුවූ බවයි නවදිල්ලියේ පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කළේ.
කෘෂිකර්මය, පුනර්ජනනීය බලශක්තිය, ඩිජිටල්කරණය, සංචාරක හා ධීවර යන ක්ෂේත්‍ර සම්බන්ධයෙන් එහිදී සාකච්ඡාවට ලක්ව තිබෙනවා. මෙම තීරණාත්මක අවස්ථාවේදී ඉන්දියාව ශ්‍රී ලංකාවට ලබාදී ඇති සියලුම සහයන් පිළිබඳ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඉන්දිය අග්‍රාමාත්‍යවරයා වෙත එහිදී සිය ස්තුතිය පළ කළ බවද නවදිල්ලියේ පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කළා.
මේ අතර මුදල් අමාත්‍යවරයා අද ඉන්දිය විදේශ ලේකම් ශ්‍රී හර්ෂ් වර්ධන් ශ්‍රින්ග්ලා ද හමුවුණා. එම අවස්ථාවට මුදල් අමාත්‍යංශ ලේකම් එස් ආර් ආටිගල, ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ සහ ශ්‍රී ලංකාවේ ඉන්දිය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේද එක්ව සිටි බවයි ඉන්දිය මාධ්‍ය වාර්තා කළේ.