නවතම පුවත්

ඉන්දීය මහකොමසාරිස්, නැගෙනහිර සංචාරයක.

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා 2022 ඔක්තෝබර් 1-2 දෙදින මඩකලපුව සහ ත්‍රිකුණාමලය ප්‍රදේශයේ සංචාරයක නිරත විය. මෙම දෙදින තුළ මහ කොමසාරිස්තුමා විවිධ වැඩසටහන් සඳහා සහභාගී වූ අතර එතුළින් ඉන්දු – ශ්‍රී ලංකා සහයෝගීතාවයේ බහු ආංශික ස්වභාවය සහ ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාත සමඟ ඉන්දියාවේ ගැඹුරු සහ දිගුකාලීන සංස්කෘතික සහ සමාජ-ආර්ථික බැඳීම් පිළිඹිබු විය.

  1. මහ කොමසාරිස්තුමා ඔක්තෝබර් 1වන දින නැගෙනහිර විශ්ව විද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වෙමින් මඩකලපුව සංචාරය ආරම්භ කළේය. මේ අවසථාවේ දී මහ කොමසාරිස්තුමා ආර්ථික දුෂ්කරතා සහිත පවුල්වල විශ්ව විද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන් 100 දෙනෙකුගේ අධ්‍යාපන කටයුතු සඳහා විශේෂ මූල්‍ය සහයෝගිතා යෝජනා ක්‍රමයක් පිරිනමන බව සඳහන් කළේය. මහ කොමසාරිස්තුමා ITEC, විවිධ ශිෂ්‍යත්ව සහ ප්‍රමුඛ පෙ‍ළේ ඉන්දියානු අධ්‍යාපන ආයතන සමඟ සහයෝගීතාවයන් ඇතුළු ඉන්දීය රජය ‍විසින් ගෙන ඇති විවිධ පියවර හරහා උසස් අධ්‍යාපන සහ කුසලතා පුහුණු ක්ෂේත්‍රය තුළ සහයෝගීතාවය ඉහළ නංවාගැනීමේ වැදගත්කම පෙන්වා දුන්නේය.
  2. ඉන්දීය රජයේ ප්‍රදාන යට‍තේ මඩකලපුව ශික්ෂණ රෝහලේ ශල්‍ය වෛද්‍ය ඒකකය ඉදි කිරීමේ ප්‍රගතිය ද මහ කොමසාරිස්තුමා සමාලෝචනය කළේය. ඉදිකිරීම් කටයුතු අවසන් වීමට ආසන්න මෙම ව්‍යාපෘතිය ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ජනතා කේන්ද්‍රීය සංවර්ධන සහයෝගීතාවයේ තවත් පිළිඹිබුවක් වේ. ජනතා කේන්ද්‍රීය සංවර්ධන සහයෝගීතාවය යටතේ ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 25 තුළම සෞඛ්‍ය, අධ්‍යාපනය සහ ජීවනෝපාය සංවර්ධනය වැනි විවිධ ක්ෂේත්‍රයන්හි විවිධ ව්‍යාපෘතීන් ක්‍රියාවට නංවා ඇත.
  3. මහ කොමසාරිස්තුමා මඩකලපුව රාමක්‍රිෂ්ණ මිෂන් වෙත ද ගිය අතර ශ්‍රී ලංකාවේ ජනතාවට උපකාර කිරීම සඳහා එම ආයතනය විසින් සෞඛ්‍ය, අධ්‍යාපනය සහ ආධ්‍යාත්මික සංවර්ධනය යන අංශයන් සඳහා ලබා දී ඇති දායකත්වය සහ සේවාවන් අගය කළේය. මේ වෙනුවෙන් මහ කොමසාරිස් කාර්යාලය ලබා දිය හැකි උපරිම සහයෝගය ලබා දෙන බව ද එතුමා සඳහන් කළේය.
  4. මහ කොමසාරිස්තුමා මඩකලපුව කාත්තන්කුඩි හි මෙත්තයි ග්‍රෑන්ඩ් ජුම්මා මුස්ලිම් දේවස්ථානය සහ බද්‍රියාහ් ජුමාහ් මස්ජිත් වෙත ද ගොස් ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ ජනතාවගේ සාමය, ප්‍රගතිය සහ සෞභාග්‍යය උදෙසා ප්‍රාර්ථනා කළේය. ඉන්දු – ලංකා සූෆි මිත්‍රත්ව සංගමයේ සහ බද්‍රියාහ් ජුමාහ් මස්ජිත් හි මාධ්‍ය ඒකකයේ සමරු ඵලක ද මහ කොමසාරිස්තුමා විසින් නිරාවරණය කරන ලදී. එතුමා මෙත්තයි ග්‍රෑන්ඩ් ජුම්මා මුස්ලිම් දේවස්ථානයේ දී සමස්ත ලංකා ජමියතුල්ලා උලමා සංවිධානයේ නියෝජිතයන් සහ ආගමික සහ ප්‍රජා නායකයන් සමඟ සුහද කතාබහක ද නිරත විය.
  5. ජාතියේ පියා වන මහත්මා ගාන්ධිතුමාගේ ජන්ම දිනය වන ඔක්තෝබර් 2 වන දිනට පෙර දින මහ කොමසාරිස්තුමා මඩකලපුව ගාන්ධි ස්මාරකයට පුෂ්පෝපහාර දැක්වීය. මෙම ස්මාරකය 1967 වර්ෂයේ දී ඉදි කර ඇත. පාර්ලිමේන්තු මන්ත්‍රී ගෝවින්දන් කරුණාකරන් සහ මඩකලපුව නගරාධිපති ත්‍යාගරාජා සරවනපවන් යන මහත්වරු ද මෙම අවස්ථාවට සහභාගී වූහ.
  6. මහ කොමසාරිස්තුමා ඉපැරණි හින්දු කෝවිලක් වන තිරු‍කෝනේෂ්වරම් කෝවිලේ පූජාවකට සහභාගී වෙමින් ඔක්තෝබර් 02 වන දින සිය ත්‍රිකුණාමලය සංචාරය ආරම්භ කළේය. කෝවිලේ ප්‍රධාන පූජකතුමා නවරාත්‍රී සමයේ විශේෂ ආගමික වතාවත්වලින් අනතුරුව මහ කොමසාරිස්තුමාට ආශිර්වාද කළේය. කෝවිල් භාරකාර මණ්ඩලයේ සභාපති තුෂ්‍යාන්තන් මහතා කෝවිලේ ඉතිහාසය පිළිබඳව මහ කොමසාරිස්තුමා දැනුවත් කළ අතර දුර බැහැර මෙන්ම ආසන්න ප්‍රදේශවල බැතිමතුන් සඳහා වන්දනාමය නවාතැනක් වශයෙන් කෝවිල ප්‍රතිසංස්කරණය කිරීමේ යෝජනාවක් ද මහ කොමසාරිස්තුමාට භාර දුන්නේය.
  7. මහත්මා ගාන්ධිතුමාගේ 153 වන ජන්ම සංවත්සරය නිමිත්තෙන් ත්‍රිකුණාමලය LIOC හිදි සංවිධානය කර තිබූ උත්සවයකට ද මහ කොමසාරිස්තුමා සහභාගී විය. එහිදී මහ කොමසාරිස්තුමා ගාන්ධිතුමාට පුෂ්පෝපහාර දැක්වූ අතර 1927 වසරේදී මහත්මා ගාන්ධිතුමාගේ ශ්‍රී ලංකා සංචාරය සහ ශ්‍රී ලාංකික ජනතාව සමඟ එතුමාගේ සමීප සම්බන්ධතාවය පිළිබඳ ව සිහිපත් කළේය. LIOC කළමනාකාර අධ්‍යක්ෂ මනෝජ් ගුප්තා මහතා උත්සවය සඳහා සහභාගී වීම වෙනුවෙන් මහ කොමසාරිස්තුමාට ස්තුතිවන්ත වූ අතර LIOC ව්‍යාපාර කටයුතු තවදුරටත් ව්‍යාප්ත කිරීම සහ විවිධාංගීකරණය කිරීම සම්බන්ධ සැලසුම් පිළිබඳව මහ කොමසාරිස්තුමා දැනුවත් කළේය. මහ කොමසාරිස්තුමා විශේෂයෙන්ම පසුගිය මාසවලදී ශ්‍රී ලංකාවේ බලශක්ති සුරක්ෂිතතාවය සහතික කිරීම සහ ශ්‍රී ලංකාවේ කර්මාන්තවල වර්ධනය වන අවශ්‍යතාවයන් සපුරාලීම සඳහා LIOC විසින් සිදු කරන ලද කාර්යභාරය අගය කළේය. මහ කොමසාරිස්තුමා ලුබ්රිකන්ට් මිශ්‍රණ කර්මාන්ත ශාලාව සහ එහි අලුතෙන් ආරම්භ කරන ලද ලිහිසි තෙල් කර්මාන්ත ශාලාව වෙත ද ගියේය. මෙම ලිහිසි තෙල් කර්මාන්ත ශාලාව ශ්‍රී ලංකාවේ එවන් පළමු කර්මාන්ත ශාලාව වේ. කළමනාකාරණ අධ්‍යක්ෂතුමා LIOC සහ ලංකා ඛනිජතෙල් සංස්ථාව විසින් ඉහළ ටැංකි සංකීර්ණය ඒකාබද්ධව සංවර්ධනය කිරීම සඳහා වන සැලසුම් පිළිබඳව ද මහ කොමසාරිස්තුමා දැනුවත් කළේය.
  8. එදිනම, මහ කොමසාරිස්තුමා නැගෙනහිර නාවික ප්‍රදේශය භාර අණදෙන නිලධාරී රියර් අද්මිරාල් ජයන්ත කුලරත්න මහතා සහ ගුවන් හමුදා ඇකඩමියේ ආඥාපති එයාර් කොමදෝරු අසේල ජයසේකර මහතා හමු විය. එතුමා ශ්‍රී ලංකාවේ සමුද්‍රීය ආරක්ෂාව ශක්තිමත් කිරීමට සහ කලාපයේ සමස්ත ආරක්ෂාවට දායකත්වය ලබා දීම සඳහා 2022 අගෝස්තු 15 වන දින ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට තිළිණ කරන ලද ඩෝනියර් ගුවන් යානයේ මෙහෙයුම් කටයුතු සඳහා ශ්‍රී ලංකා හමුදාවන්ට සහය ලබා දෙන ඉන්දීය නාවික හමුදා තාක්ෂණ කණ්ඩායම සමඟ ද කතා බහක නිරත විය.
  9. ශ්‍රී ලංකාවේ ජනතාව වෙනුවෙන් ඉන්දියාව දක්වන කැපවීම පිළිඹිබු කරමින් මහ කොමසාරිස්තුමා මෙම දෙදින තුළ මඩකලපුව සහ ත්‍රිකුණාමලය ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල් 400ක් සඳහා මානුෂීය ආධාර ද බෙදා දුන්නේය. මඩකලපුව ප්‍ර‍දේශයේ පැවති උත්සවය සඳහා කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය එස්. වියාලෙන්ද්‍රන් මහතා සහභාගී වූ අතර ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පැවති උත්සවය සඳහා ද්‍රවිඩ ජාතික සංවිධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්ධන් මහතා නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ටී. කලයියාරසන් මහතා ද සහභාගී වූහ. මෙම අවස්ථාවන් දෙකෙහිදීම සංවිධායකයෝ ශ්‍රී ලංකාවේ ජනතාව වෙනුවෙන් ඉන්දියාව විසින් ලබාදෙන පරිත්‍යාග සහ නොමසුරු සහයෝගය සම්බන්ධයෙන් සිය කෘතවේදීත්වය පළ කළහ. ඉන්දියාව නිවුන් සහෝදරයෙක් ලෙස විශේෂයෙන්ම දුෂ්කර කාලයන් හිදි සෑමවිටම ශ්‍රී ලංකාව සමඟ රැඳී සිට ඇති බව ද ඉදිරියටත් රැඳී සිටින බව ද මහ කොමසාරිස්තුමා ප්‍රකාශ කළේය.
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්