ඉරටු ඉදලට -පොල්කොහු කොස්සට ජපානයේ හොඳ ඉල්ලුමක්

Picture of අසංක

අසංක

මෙරට පවතින ස්වභාවික ද්‍රව්‍ය ආශ්‍රිත නිෂ්පාදන හා අත්කම් නිෂ්පාදන වෙනුවෙන් ජපන් ජාතිකයන් අතර විශාල ඉල්ලුමක් පවතින බවට පසුගියදා ජපානයේ කමගයා නාගරික ක්‍රීඩාංගනයේදී පැවති ශ්‍රී ලංකා ෆෙස්ටිවල් (Sri Lanka Festival) -2023 හිදී පෙනී ගොස් ති‍බේ.

එහිදී මෙරට නිෂ්පාදනය කරන ලද කොහු ආශ්‍රිත නිෂ්පාදන , පන් ආශ්‍රිතව සිදුකළ විවිධ නිෂ්පාදනයන් ප්‍රමුඛ විය.

එය මෙරට අත්කම් නිෂ්පාදන කර්මාන්තයේ යෙදෙන්නන්ට මෙන්ම එම නිෂ්පාදන අපනයනයේ යෙදෙන ව්‍යවසායකයින් හට බෙහෙවින් සුබදායී පුවතක් වනු ඇති බව රජය පෙන්වා දෙයි.

ජපානයේ ශ්‍රී ලංකා තානාපති රොඩ්නි පෙරේරා සහ කමගයා නගරාධිපති ශිවෝතා හීරෝමි යන මහත්ම මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා ෆෙස්ටිවල් (Sri Lanka Festival) -2023 උත්සවය ඉතා උත්කර්ෂවත්ව පැවැත්විණි.

ජපන් ජාතිකයන් අතර ශ්‍රී ලංකාව සංචාරක වශයෙන් ප්‍රවර්ධනය කිරීමත්, ශ්‍රී ලාංකික නිෂ්පාදන හා සේවාවන් ප්‍රවර්ධන කිරීමත් අරමුණු කර ගනිමින් ජපන් ශ්‍රී ලංකා සංගමය විසින් මෙම උත්සවය සංවිධානය කොට තිබුණි.

ශ්‍රී ලාංකික නර්තන හා සංගීතයෙන් වර්ණවත් වූ මෙම උළෙල නරඹන්නට ජපන් වැසියන් හා ශ්‍රී ලාංකිකයන් විශාල ප්‍රමාණයක් එක්වී ඇත.

ශ්‍රී ලාංකික ආහාර පාන ලබා ගැනීමටත් , ශ්‍රී ලාංකික වෙනත් නිෂ්පාදනයන් මිලදී ගැනීමටත් ජපන් වැසියන් තුළ විශාල උනන්දුවක් පවතිනු දැකගත හැකිව ඇත.