ඉරාජ්- බැසිල් හමුවෙයි

Picture of අසංක

අසංක

ගායන ශිල්පී ඉරාජ් වීරරත්න මහතා නෙළුම් මාවතේ පිහිටි ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මුල්ස්ථානයට පැමිණ අද ( 10) දහවල් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා හමුවිය.

ප්‍රකාශනයේ භාෂණයේ අයිතිය ලබාදීමට සැම විටම සුදානම් බව පෙන්වන ආණ්ඩුව තම ප්‍රතිවිරුද්ධ මත දරන්නන් අතුගා දැමීමට කටයුතු කරමින් ඇතැයි සදහන් කරමින් ඉරාජ් වීරරත්න මහතා ඒ සම්බන්ධයෙන් තමන්ගේ අදහස් දැක්වීම සදහා මෙලෙස හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා හමුවීමට පැමිණ තිබේ.

 ආණ්ඩුවට සහය නොදක්වන්නේයැයි පදනමෙන් ඉරාජ් වීරරත්න මහතාගේ ෆේස්බුක් ගිණුම මීට දින කිහිපයකට පෙර අවහිර කර දැමීමට ආණ්ඩුව මැදිහත්වී ඇතැයි ඒ මහතා චෝදනා කරයි. සිය ෆේස්බුක් ගිණුමට මෙලෙස ආණ්ඩුවේ වාරණයක් ඇතිවීම අප්‍රකාශිත මර්දනයේ තවත් දිගුවක් බවට පසුගියදා ඒ මහතා ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් පෙන්වා දුන්නේය.

කෙසේ වෙතත් ඉරාජ් වීරරත්න මහතා ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ මුලස්ථානයට පැමිණි මොහොතේ ඒ වනවිට විවිධ කටයුතු සහ සාකච්ඡා සදහා පැමිණ සිටි ඔහුගේ රසියෝ ඔහු සමග සෙල්ෆි ඡායාරූප ගැනීමට ක්‍රියා කළහ.

සමාජයට තමන්ගේ මතය ප්‍රකාශ කිරීමට කිසිවෙකුටත් බාධාවක් නොතිබිය යුතු අතර කලා නිර්මාණ ආණ්ඩුවකට අභියෝගයක් ලෙස සලකා කලාව මර්දනය කිරීමට යාම මෙරට කුමන මතයක් හෝ දරණ සියලු කලාකරුවන්ට රතු එළි පෙන්වීමක් බව මෙම හමුවේදී හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පෙන්වා දී තිබේ