උතුරු ඉන්දියාවේ ගුවන් තොටුපල ආරක්ෂාව දැඩි කරේ

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

උතුරු ඉන්දියාවේ සියලුම ගුවන් තොටුපළවල් වල ආරක්ෂාව තර කිරීමට එරට ආරක්ෂක අංශ පියවර ගෙන තිබෙනවා. ඒ පකිස්තානයේ ක්‍රියාත්මක Jaish-e-Mohammed නම් අන්තවාදී කණ්ඩායමට සම්බන්ධ ත්‍රස්තවාදීන් සිව්දෙනෙක් දිල්ලියට ඇතුල්වී ඇති බවට ලද බුද්ධි තොරතුරු හේතුවෙනි.

කෙසේ වෙතත් ඊයේ දිනයේ (04) ඉන්දියාවේ සියලු ගුවන් තොටුපොලවල් වලට මෙම අනතුරු ඇඟවීම නිකුත් කර තිබුණා. නමුත් අද වන විට එය උතුරු ඉන්දියාව වෙත සීමා කර තිබෙනවා.

දිල්ලි පොලිසිය සඳහන් කර සිටින්නේ මෙලෙස පැමිණ ඇති බවට තොරතුරු වාර්තා වන ත්‍රස්තවාදීන් සිව්දෙනා ආයුධ සන්නද්ධව සිටින බවයි. එමෙන්ම ඔවුන්ගේ මුලික ඉලක්කය වී ඇත්තේ ගුවන් තොටුපලවල් බවත් මරාගෙන මැරෙන බෝම්බකරුවන්ද ඒ අතර සිටින බවයි.

මේ සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ (4) දිනයේදී ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ නිවසේද විශේෂ සාකච්ජාවක් පවත්වා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මේ අතර ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදී, ස්වදේශ කටයුතු ඇමති අමිත් ෂා සහ ඉන්දීය ආරක්ෂක උපදේශක අජිත් දෝවාල් ඉලක්ක කර ගනිමින් ප්‍රහාරයක් එල්ලවීමට ඉඩ ඇති බවට ලද තොරතුරු හේතුවෙන් ඉන්දියාවේ සියලුම ප්‍රාන්ත ආවරණය වන පරිදි විශේෂ ආරක්ෂක මෙහෙයුමක් දියත් කර තිබෙනවා.

ජම්මු හා කාශ්මීරයට ලබාදී තිබු විශේෂ වරප්‍රසාද ඉවත් කිරීමට ඉන්දීය මධ්‍යම රජය පසුගියදා තීරණය කිරීමත් සමග පකිස්තානයේ සහය ලබන අන්තවාදී ත්‍රස්ත කණ්ඩායම් විසින් ඉන්දියාව තුල දැඩි ප්‍රහාරයක් එල්ල කිරීමට ඉඩ ඇති බවට එරට බුද්ධි අංශ විසින් පසුගියදා රජයට අනතුරු අඟවනු ලැබුවා.