එඩ්වින් ආරියදාස,ලතීෆ්,යසුෂී අකාශි ජනපති අතින් ජාතික සම්මාන ලබයි

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

මාතෘ භූමිය වෙනුවෙන් උත්කෘෂ්ට මෙහෙවරක නිරත වූ, විශිෂ්ට ශ්‍රී ලාංකිකයන් ජාතික සම්මානයෙන් පුදනු ලබන “ජාතික සම්මාන උලෙළ 2019” ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (19) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්විණි.

මෙහිදී ජාතික සම්මානයෙන්, ජාතියේ සම්භාවනාවට පාත්‍ර වූයේ, මාතෘ භූමියේ සාඩම්බර ප්‍රෞඩත්වය ඔසවා තබනු පිණිස මෙන් ම දේශයේ අනභිබවනීය ගෞරවය සහ ප්‍රගතිය වෙනුවෙන් කැපවූ සම්භාවනීය ශ්‍රී ලාංකිකයන් ය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් විශිෂ්ට මෙහෙවරක නිරත වූ ශ්‍රී ලාංකික පුරවැසියන් 70 දෙනෙකු මෙහි දී ජනාධිපතිවරයා අතින් සම්මානයෙන් පිදුම් ලැබූහ.

ශ්‍රී ලාංකික සහ පොදුවේ මානව වර්ගයා උදෙසා සිදුකරන ලද විශිෂ්ට සේවය වෙනුවෙන් ශ්‍රී ලාංකික පුරවැසියන් නොවන පුද්ගලයන් සදහා ප්‍රදානය කෙරෙන ශ්‍රී ලංකා රත්න සම්මානයෙන් ජපන් ජාතික යසුෂි අකාෂි මහතා පිදුම් ලැබීය.

ජාතිය උදෙසා කරන ලද අතිවිශිෂ්ට වූත්, ප්‍රශංසනීය වූත් සේවයට උපහාර වශයෙන් දේශමාන්‍ය සම්මාන 06ක් පිරිනැමුණු අතර අජිත ද සොයිසා, ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි, මෙරිල් ජෝෂප් ප්‍රනාන්දු, මොරගොඩගේ ක්‍රිස්ටෝපර් වෝල්ටර් පින්ටෝ, මහාචාර්ය මොහාන් මුණසිංහ, ආචාර්ය සුරත් වික්‍රමසිංහ යන මහත්වරුන් වෙනුවෙන් සම්මාන පිරිනැමිණි.

මීට අමතර ව දේශබන්දු සම්මාන 10ක්, විද්‍යාජෝති සම්මාන 06ක්, කලාකීර්ති සම්මාන 09 ක්, ශ්‍රී ලංකා ශිඛාමණි සම්මාන 08ක්, විද්‍යා නිධි සම්මාන 03ක්, කලාශූරි සම්මාන 11ක්, ශ්‍රී ලංකා තිලක සම්මාන 11ක්, වීර ප්‍රතාප සම්මාන 02ක්, ශ්‍රී ලංකා රංජන සම්මාන 03ක් ජනාධිපතිතුමා අතින් පිරිනැමිණි.