ඔක්ටේන්92 පෙට්‍රල් ප්‍රමිතියෙන් තොර බවට හෙළිදරව්වක්

Picture of අසංක

අසංක

ශ්‍රී ලංකාව තුළ බෙදාහරිනු ලබන ඔක්ටේන් 92 පෙට්‍රල්වල නියැදි පරීක්ෂා කිරීමේ දී ඒවා අදාළ ප්‍රමිතියට අනුව නොමැති බව හෙළි වී ඇතැයි පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පවසයි.

මේ සම්බන්ධයෙන් කරන ලද රසායනාගාර පරීක්ෂණයක දී ඔක්ටේන් 92 මට්ටමේ තිබිය යුතු පෙට්‍රල්වල සැබැවින්ම ඇත්තේ ඔක්ටේන් 90.5 ක මට්ටමක් බව තහවුරු වී ඇති බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංවිධානය වැඩිදුරටත් කියා සිටී.

පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතාගේ අත්සනින් යුතුව එම නිකුත් කර ඇති නිවේදනයක මේ පිලිබඳ වැඩිදුරටත් මෙසේ දැක්වේ .

තත්වයෙන් බාල නිසා මීට පෙර ඛණිජතෙල් සංස්ථාව වීසින් 90 ඔක්ටේන් පෙට්රල් අලෙවිය නවතා දමා 92 ඔක්ටේන් පෙට්රල් වෙළදපොළට හදුන්වා දෙන ලදී. එහෙත් පාරිභෝගිකයින් නොමග යවමින් මේ වන විටත් 92 ඔක්ටේන් පෙට්රල් ලෙස පාරිභෝගිකයා මිලදී ගනු ලබන්නේ 90 ඔක්ටේන් පෙට්රල්ය.

සමාගම් විසින් පාරිභෝගිකයින් මෙසේ අන්දවද්දී පාලකයින් මරණ දඩුවම පිළිබදව හා 2020 ජනාධිපති අපේක්ෂකයා පිළිබදව අදහස් පළ කරමින් සිටී.

පාරිභෝගික අධිකාරිය භාර ඇමතිවරයා ලෙස කටයුතු කරන්නේ බුද්ධික පතිරණ ඇමතිවරයාය. එම ඇමතිවරයාගෙන් අප සංවිධානය ප්‍රශ්ණ කරන්නේ ලංකා ඛණිජ තෙල් සංස්ථාවේ පෙට්රල් හා ඩීසල් අලෙවි කරන මිලට වඩා වැඩි මිලකට IOC සමාගමට පෙට්රල් හා ඩීසල් අලෙවි කිරීමට ඉඩ දෙන්නේ ඇයිද? යන්න හා මෙසේ රටපුරා බාල පෙට්රල් අලෙවි කිරීමට ඉඩ දෙන්නේ ඇයිද? යන්නයි.

කිරිපිටි සටන මෙන්ම ඉන්ධන සටනද තම කරමත තබා ගන්නා ලෙස අප බුද්ධික පතිරණ ඇමතිවරයාගෙන් ඉල්ලා සිටිමු.