ඔන්ලයින් ස්ටෝර් අමෙරිකානු බැංකු ගිණුමක් හැක් කොට මිලියන 1400ක් ඇද්ද ලාංකිකයන් අත්අඩංගුවට

Picture of අසංක

අසංක

දම්පත් රණසිංහ

වෙබ් අඩවියක් ඔස්සේ අන්තර්ජාලයෙන් භාණ්ඩ හා සේවා සපයන ජාත්‍යන්තර වෙළද ආයතනයක ඇමරිකානු බැංකුවක ඇති ගිණුමකට අනවසරයෙන් ඇතුළු වී (හැක්) රුපියල් මිලියන 1400 ක මුදලක් ප්‍රධාන පුද්ගලික බැංකුවක ගිණුම් 36 කට බැර කරමින් කළ දැවැන්ත මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භකර තිබේ.

ආදාල වෙඩ් අඩවියෙන් ඇණවුම් කළ භාණ්ඩ හා සේවා සැපයීමට නොහැකිව ගෙවීම් කළ මුදල් ආපසු ලබාදෙන ආකාරයට එම මුදල් පුද්ගලික බැංකුවේ ගිණුම්වලට බැරවී ඇත.

එසේ ගිණුම් 36 කට බැරවී ඇත්තේ විශාල මුදල් ප්‍රමාණයක් වන බැවින් බැංකු කාර්ය මණ්ඩලයට ඒ ගැන ඇතිවුණු සැකයක් මුල්කර ගනිමින් කළ සොයා බැලීමකදී යම් වංචාවක් සිදුව ඇති බව පෙනී යාම නිසා ඒ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කළ දැනුම් දීමකට අනුව මෙම දැවැන්ත වංචාව හෙළි කර ගැනීමට හැකිවී තිබේ. ඒ ගැන ඇමරිකානුබැංකුව මෙන්ම අදාල ගිණුම හිමි අන්තර්ජාල භාණ්ඩ හා සේවා සපයන සමාගම පවා දැනගෙන ඇත්තේ මෙරටින් කළ දැනුම් දීමෙන් අනතුරුවය.

රුපියල් මිලියන 1400 න් මේවන විටත් රුපියල් මිලියන 900 ක පමණ මුදලක්ද සොයා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සමත්ව ඇත. බැංකුවේ ගිණුම් 36 කට ඇමරිකානු බැංකු ගිණුමකින් බැරවුණු එම මුදල් තොගය පසුව වෙනත් ගිණුම් කිහිපයකට බෙදීගොස්ද ඇතැයි අනාවරණය වී තිබේ. එම ගිණුම් බැංකු කිහිපයකට අයත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු තොරතුරු අනාවරණය කළේය.

මෙම අන්තර්ජාතික බැංකු වංචාව සම්බන්ධයෙන් පළමු සැකකරුව ත්‍රීකුණාමලයේදී අත්අඩංගුවට ගෙන තිබේ. ඔහුගේ තොරතුරු මත කුරුණෑගල දෙදෙනෙක්ද අත්අඩංගුවට ගත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු වවුනියාවෙන් සහ මැදව්චියෙන් තවත් සිව් දෙනෙක් අද (08) අත්අඩංගුවට ගෙන තිබේ. තවත් කිහිප දෙනෙක් අත්අඩංගුවට ගැනීමට නියමිතය ඇති බවද සදහන්ය.