ඔමික්‍රෝන් රැල්ල ඇවිත්? මාස 4කට පසු දිනකට කොවිඩ් ආසාදිතයන් 1000ක්

Picture of Roshan

Roshan


අසංක නවරත්න

මෙරට කොවිඩ් ව්‍යාප්තියේ සීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කරමින් කලකට පසුව දෙවන දිනටත් ඊයේ (31) දිනයේ දිනක් තුළ කොරෝනා ආසාදිතයින් 1082ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය කීය. එම ආසාදිතයින් අතර විදෙස්ගතව සිට මෙරටට පැමිණි පුද්ගලයන් 06 දෙනෙකුද සිටින බව අදාළ නිවේදනයේ සඳහන් වෙයි.

මේ වනවිට දිවයිනේ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ද ඒ අනුව 611,185ක් දක්වා ඉහළගොස් තිබේ.

දෛනික ආසාදිතයින් සංඛ්‍යාව අවසන් වරට දහස ඉක්මවා තිබුණේ ඉකුත් වසරේ සැප්තැම්බර් මස 26 වනදාය. මෙවැනි දැඩි ව්‍යාප්තියක් යළි දක්නට ලැබෙන්නේ ඔමික්‍රොන් ප්‍රභේදය මෙරටින් හඳුනාගැනීමත් සමගින්ය. ගතවූ දින 12 තුළ පමණක් මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් ආසාදිතයින් ගණන 10,815කි.

මේ අතර පෙරේදා (30) දිනය තුළ තවත් කොවිඩ් මරණ 21ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. ඒ අතර අවුරුදු 30ට අඩු කාන්තාවන් දෙදෙනෙකු ද සිටී. ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති මුළු කොවිඩ් මරණ ගණන 15,441කි.