කම්කරු මහලේකම් කාර්‍යාලයේ අපිළිවෙලට නිමල් සිරිපාලගෙන් නිලධාරීන්ට දොස්

Picture of අසංක

අසංක

කම්කරු මහලේකම් කාර්යාලයේ හදිසි නිරීක්ෂණ චාරිකාවකට එක්වූ කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පසුගියදා එම කාර්යාලයේ අපිළිවෙල හා අපිරිසිදුභාවය සම්භන්ධව එහි නිලධාරීන්ට විවෘතවම සිය අප්‍රසාදය පළකළේය .

කම්කරු දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ බොහෝ අංශවල ⁣ යහපත් සෞඛ්‍ය සම්පන්න සේවා පරිසරයක් නොමැතිවීම බරපතල කාරණයක් වන බවද මෙහිදී අමාත්‍යවරයා අවධාරණය කළේය

රටටම ඵලදායිතාව උගන්වමින් ,කාර්යාල කළමනාකරණය ගැන උපදෙස් දෙන කම්කරු දෙපාර්තමේන්තුව පළමුව ඵලදායිතාව පිළිබද ඉගෙන ගෙන ප්‍රායෝගිකව එය ක්‍රියාත්මක කර රටට ආදර්ශයක් දිය යුතු බවත් මෙහිදී රැස්ව සිටි නිලධාරීන් සියලු දෙනා ඉදිරියේ අමාත්‍යවරයා සඳහන් කළේය .

මහල් දහයකින් සමන්විත ⁣කම්කරු මහලේකම් කාර්යාලයේ සෑම මහලකටම යමින් ඇමතිවරයා එහි තත්වයන් නිරීක්ෂණය කරමින් සේවකයන්⁣ ගෙන් සහ පැමිණ සිටි මහජනයා ගෙන් සිය ගැටළු පිළිබඳ විමසීම් කළේය.

මෙහි බෙහෝ කාර්යාලවල වතුර කාන්දු වන අන්දම සේවකයන් පෙන්වා දුන්නේය. දූවිලි ගහන ලිපි ගොනු හා ජලය කාන්දු වන අන්දමට සේවකයන් ඉක්මනින් රෝගාතුර විය හැකි හෙයින් ඉතා කඩිනමින් එම කාර්යාල එම ගොඩනැගිල්ලේම සුදුසු තැන්වල ස්ථානගත කරන ලෙස ඇමතිවරයා මෙහි දි කම්කරු කොමසාරිස් ජනරාල්වරයාට උපදෙස් දුන්නේය.

.එසේම ලිපිගොනු අනාරක්ෂිතව තැන තැන දමා ඇති අන්දම නිරීක්ෂණය කළ ඇමතිවරයා ඒ පිළිබද සිය අප්‍රසාදය පළ කළේය.ගොඩනැගිල්ලේ හදිසි අනතුරු පිටවීමේ දොරටු අබිලි ද්‍රව්‍ය ගොඩ ගසා අවහිරකර තිබූ අන්දමද මෙහි දි අමාත්‍යංශයේ ලේකම් මාපා පතිරණ මහතා පෙන්වා දුන්නේය.

ගොඩනැගිල්ලේ තැන තැන ගොඩ ගසා ඇති අබිලි ද්‍රව්‍ය ලබන සිකුරාදා වන විට එම ස්ථානවලින් ඉවත් කළ යුතු බවත්,ඒ පිළිබද සොයා බැලීමට තමන් ලබන සඳුදා (14) නැවත පැමිණෙන බව ඇමතිවරයා පැවසීය