නවතම පුවත්

කලාකීර්ති එඩ්වින් ආරියදාසයන්ගේ අවසන් කටයුතු රාජ්‍ය අනුග්‍රහයෙන් පවත්වන්න අගමැති උපදෙස්

අසංක

අසංක

ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදියෙකු, සිනමා විචාරකයෙකු, මාධ්‍යවේදියෙකු, පරිසරවේදියෙකු, ගුරුවරයෙකු මෙන්ම වියතෙකු ලෙස ජනාදරයට පත් වූ කලාකීර්ති ආචාර්ය එඩ්වින් ආරියදාස මහතාගේ අවසන් කටයුතු රාජ්‍ය අනුග්‍රහයෙන් සිදු කිරීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (23) දින උපදෙස් දී තිබේ.

ජනසන්නිවේදන හා ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ පෘථුල අත්දැකීම් මෙන්ම සුවිශේෂී විෂය දැනුමක් සමාජයට දායාද කළ කෘතහස්ථ හා ජ්‍යේෂ්ඨ ජනමාධ්‍යවේදියෙකු වන එතුමාගේ අවසන් කටයුතු බුද්ධශාසන ආගමික හා සංස්කෘතික අමාත්‍යංශය හා ජනමාධ්‍ය අමාත්‍යංශය ඒකාබද්ධව සිදු කරනු ඇත.

ඒ සඳහා බුද්ධශාසන ආගමික හා සංස්කෘතික අමාත්‍යංශ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන මහතාට හා ජනමාධ්‍ය අමාත්‍යංශ ලේකම් ජගත් පී. විජේවීර මහතාට අග්‍රාමාත්‍යවරයා අද දින උපදෙස් ලබා දී තිබේ.

කලාශූරී එඩ්වින් ආරියදාස මහතාගේ වියෝව වෙනුවෙන් නිකුත් කරන ලද අගමැතිවරයාගේ ශෝක පණිවුඩය පහත දැක්වේ.

ශෝක පණිවිඩය

ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදියෙකු, සිනමා විචාරකයෙකු, මාධ්‍යවේදියෙකු, පරිසරවේදියෙකු, ගුරුවරයෙකු මෙන්ම වියතෙකු ලෙස ජනාදරයට පත් වූ කලාශුරී ආචාර්ය එඩ්වින් ආරියදාස මහතා අභාවප්‍රාප්ත වූ පුවත සැළවීමෙන් මම බලවත් සංවේගයට පත් වුණෙමි.

1922 දෙසැම්බර් 03 වන දින ගාල්ලේ, උණවටුන ප්‍රදේශයේදී උපත ලැබූ ආචාර්ය එඩ්වින් ආරියදාස මහතා මූලික අධ්‍යාපනය හැදෑරුවේ උණවටුන බොනවිස්ටා පාසලෙන් හා ගාල්ල මහින්ද විද්‍යාලයෙන්ය.

පාසල් අධ්‍යාපනය හමාර කරමින් එවකට යුනිවසිටි ඔප් සිලෝන් යනුවෙන් හැඳින් වූ කොළඹ විශ්වවිද්‍යාලයට ඇතුළත් වූ එතුමා 1945 වසරේදී සිංහල හා ඉංග්‍රිසී භාෂා පිළිබඳ උපාධි හිමි කරගත්තේය. මහින්ද විද්‍යාලයේ හා මොරටු මහ විද්‍යාලයේ කලක් ගුරුවරයෙකු ලෙස සේවය කළ එතුමා සමස්ත ලංකා බෞද්ධ ශිෂ්‍ය සම්මේලනයේ ක්‍රියාකාරී සාමාජිකයෙක්ද විය.

1949 මාර්තු 08 වැනිදා මාධ්‍යවේදියෙකු ලෙස ලේක්හවුස් ආයතනයට සම්බන්ධ වූ එතුමා දිණමින, ඩේලිනිවුස්, සන්ඩේ ඔබ්සවර්, සිළුමිණ හා ජනතා පුවත්පත්වල කතෘ මණ්ඩලයේ සේවය කළේය. මිහිකත, දෙසතිය සගරා සදහා ලිපි සැපයූ එතුමා ලේක්හවුස් ආයතනයේ උපදේශක මණ්ඩල සාමාජිකයෙකි.

1978-1982 වකවානුවේ නවයුගය පුවත්පතේ ප්‍රධාන කතෘවරයා ලෙස ද කටයුතු කළ ආරියදාස මහතා එම පුවත්පත පෙර අපරදිග දැනුමෙන් පෝෂණය කළේය. චරිත හමුව, දුක දිනා ජයගත් හපන්නු, අතීතයට ලියුමක් ඔහු ආරම්භ කළ විශේෂාංග ජනාදරයට පත්විය.

ආචාර්ය එඩ්වින් ආරියදාස මහතා ජනසන්නිවේදන හා ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ පෘථුල අත්දැකීම් මෙන්ම සුවිශේෂී විෂය දැනුමක් සමාජයට දායාද කළ කෘතහස්ථ හා ජ්‍යේෂ්ඨ ජනමාධ්‍යවේදියෙකි.

ශ්‍රී ලංකාවේ මාධ්‍ය අධ්‍යාපනය ඇරඹීමට පුරෝගාමී වු එඩ්වින් ආරියදාස මහතා ජන විඥාපනය ලෙස සන්නිවේදන විෂය හැඳින්වු 1960 දශකයේ එම විෂය ඉගැන්වූ මෙරට ප්‍රථම ආචාර්යවරයාය.

කැලණිය, කොළඹ, ජයවර්ධනපුර හා විවෘත විශ්වවිද්‍යාලවල ජනමාධ්‍ය පාඨමාලා ආරම්භ කිරීමේ පුරෝගාමියා වුයේ ද ආචාර්ය එඩ්වින් ආරියදාස මහතාය. එම විශ්ව විද්‍යාලවල උපාධි පාඨමාලා සැකසීමට එතුමාගෙන් ලැබුණු දායකත්වය ඉමහත්ය.

සිය අභිමානවත් වෘත්තීය ජීවිතය තුළ ආරියදාස මහතා ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ බිහි කළ සිසුන් ප්‍රමාණය අති විශාලය. ඔහු ශ්‍රී ලංකාවේ සිටි සුවිශේෂී වූ මාධ්‍ය විෂයෙහි විද්වතෙකි. එසේම ගුරුවරයෙකි.

ජනමාධ්‍ය පමණක් නොව, විද්‍යාව හා පාරිසරික ක්‍ෂේත්‍රවලට ද වැදගත් දායකත්වයක් ලබා දුන් එතුමා ද්විභාෂා වියතෙකි.

එඩ්වින් ආරියදාස මහතා ‘ලෝක ඉතිහාසය’, ඇමෙරිකානු ජනපති දේශන ඇතුළත් ‘විමුක්ති ප‍්‍රකාශ’ ඇතුළු කෘති කිහිපයක් ම පළ කළේය. එතුමා ද්විභාෂාවෙනම් රචිත ලිපි ගණන දහස් ගණනකි.
මෙරට ප්‍රථම විදෙස් විත්ති විචාරකයා ලෙස ද ආරියදාස මහතා ඉතිහාසයට එක්වෙයි.

කලාකීර්ති ඇතුළු ගෞරව සම්මාන රැසකින් පිදුම් ලැබූ ආචාර්ය එඩ්වින් ආරියදාස මහතා ජනතා සම්මාන, මාධ්‍ය සම්මාන, ජාතික සම්මාන ඇතුළු සම්මාන 300කට වැඩි සංඛ්‍යාවකට හිමිකම් කීවේය.

ජාත්‍යන්තර දේශපාලනය පිළිබඳ විද්වතෙකු වූ එතුමා, 1985 වසරේ රචනා කළ “සිනමා ලිපි” කෘතිය සිංහල සිනමා ඉතිහාසය සහ විචාරය පිළිබඳ රචනා වු වැදගත්ම කෘතියකි.

ආරියදාස මහතා අතින් මෙරට ජනමාධ්‍ය විෂය ක්‍ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් ලියැවුණු ග්‍රන්ථ ගණනාවකි.

බටහිර රටවල ආභාෂයෙන් බිහිවු සන්නිවේදන විෂයට පාරිභාෂිත වදන් එක් කිරීමට ද එඩ්වින් ආරියදාස මහතා පුරෝගාමි විය.

සිංහල භාෂාවට අන්තර්ජාලය(Internet), සමීප රූප (Closeup) මාධ්‍ය රූප (Graphics ) උස්තල මුද්‍රණය (Letter Press) සමතල මුද්‍රණය (Offset Press) සහ සජීවිකරණය (Animation) යන වචන එසේ නව අරුත් දෙමින් එතුමා නිර්මාණය කළ වදන්ය.

දශක හතක කාලයක් ජනමාධ්‍ය වෘත්තියේ නියැලීමට තරම් ආචාර්ය එඩ්වින් ආරියදාස මහතා නිරෝගිමත් වූ වා සේම එතරම් කාලයක් මෙරට ජනමාධ්‍ය හදාරන්නන්ට හා වෘත්තිකයන්ට එතුමාගේ සේවය ලබන්නට වාසනාව උදාවිය.

පුවත්පත් කලාවේදියෙකු ලෙස සිය ජනමාධ්‍ය මෙහෙවර ආරම්භ කළ ආචාර්ය එඩ්වින් ආරියදාස මහතා, රූපවාහිනිය සහ ගුවන් විදුලිය මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ද සිය දැනුම බෙදා දීමේ ජනතා මෙහෙවරහි නිරත වූයේය.

“ඇවිදින පුස්තකාලය” ලෙස ලොව දැනුම ශ්‍රි ලාංකේයන්ට යාවත්කාලීන කරන්නට උර දුන් කලාකීර්ති ආචාර්ය එඩ්වින් ආරියදාස මහතාගේ නික්ම යාම මුළු මහත් ශ්‍රී ලාංකේයන්ටම පිරිමැසිය නොහැකි පාඩුවකි.

වසර 98 ක කාලයක් ආයු වළඳා, අභාවප්‍රාප්ත වූ කලාකීර්ති ආචාර්ය එඩ්වින් ආරියදාස මහතාට නිවන් සුව අත්වේවා! යි මම ප්‍රාර්ථනා කරමි.

සංවේගයට පත් එතුමාගේ පවුලේ සැමටත්, ඥාතී හිතමිත්‍රාදීන්ටත්, ප්‍රදේශවාසී සැමටත්, රටවැසියාටත් මාගේ බලවත් සංවේගය මෙයින් පුද කර සිටිමි.

මහින්ද රාජපක්ෂ
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ
අග්‍රාමාත්‍ය

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්