නවතම පුවත්

කැනේඩියානු සංචාරක මාර්ගෝපදේශ සාවද්‍යයි !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

කැනේඩියානු සංචාරක මාර්ගෝපදේශවල ශ්‍රී ලංකාව පිළිබඳව අඩංගු සාවද්‍ය සහ යල්පැන ගිය තොරතුරු නිරවද්‍ය කිරීමට ශ්‍රී ලංකා රජය පියවර ගෙන තිබේ.

ශ්‍රී ලංකාවේ සැබෑ තත්ත්වය පිළිබිඹු නොවන, සාවද්‍ය සහ යල්පැන ගිය තොරතුරු 2022 ජනවාරි 13 වැනි දින නිකුත් කරන ලද එම මාර්ගෝපදේශවල ඇතුළත්ව තිබූ බව ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශය පැවසීය.

මෙම සංචාරක මාර්ගෝපදේශය තුළ රටේ ආර්ථික සහ ආරක්‍ෂක තත්ත්වය පිළිබඳ සාවද්‍ය තොරතුරු මෙන්ම, සංචාරය සඳහා පැමිණෙන කාන්තාවන්ගේ ආරක්‍ෂාව කෙරෙහි අවධානය යොමුකිරීම සහ විදේශිකයන්ට හිරිහැර කිරීම සම්බන්ධයෙන් ද සාවද්‍ය තොරතුරු ඇතුළත්වී තිබූ බව විදේශ අමාත්‍යාංශය වැඩිදුරටත් පැවසීය.

ඒ අනුව සැබෑ යථාර්ථයන් පිළිබඳව කැනේඩියානු බලධාරීන් පහත පියවරයන් ඔස්සේ දැනුවත් කිරීමට කටයුතු කළ බවද එම අමාත්‍යාංශය සඳහන් කළේය.

කොවිඩ් -19 වසංගතය හේතුවෙන් හදිසියේ හටගත් අභියෝගවලට ශ්‍රී ලංකාව සාර්ථකව මුහුණ දුන් අතර, මේ වනවිට සියලුම රාජ්‍ය සේවා, ආයතනික සහ ව්‍යාපාරික සහ අධ්‍යාපන කටයුතු කොවිඩ් -19 ආශ්‍රීත සෞඛ්‍ය සහ ආරක්ෂක මාර්ගෝපදේශවලට අනුකූලව බාධාවකින් තොරව සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක කරමින් සාමාන්‍ය තත්ත්වයකට පත් කර ඇත.

දිවයින පුරා සිදුකෙරෙන එන්නත්කරණ වැඩසටහන ලෝක සෞඛ්‍ය සංවිධානයේ පැසසුමට ලක්වී ඇති අතර, එන්නත්කරණය සඳහා යෝග්‍ය වූ ජනගහණයෙන් 90% කට ආසන්න ප්‍රමාණයක් මේ වනවිට කොවිඩ් -19 එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන ඇත.

වයස අවුරුදු 20ට වැඩි ප්‍රජාව සඳහා බූස්ටර් මාත්‍රාව ලබාදීමේ වැඩපිළිවෙලක් ද ආරම්භ කර ඇත.

සී.එන්. එන්. (CNN) මාධ්‍ය ජාලයේ “Where to Travel in 2022” සම්මානය, ග්ලෝබල් වෙල්නස් ආයතනය (Global Wellness Institute), කොන්ඩ් නස්ට් ට්‍රැවලර් (Conde Nast Traveler) ‘ 2021 Reader’s Choice’ සම්මාන මෙන්ම, ලෝන්ලි ප්ලැනට් (Lonely Planet) සහ නැෂනල් ජෝග්‍රෆික් ට්‍රැවල් (National Geographic Travel) මගින් 2019 වසරේ දී හිමිකර ගත් සම්මාන කිහිපයක් ඇතුළුව ජාත්‍යන්තර තලය තුළ ගෞරවයට පාත්‍රවීමට මෙම වසංගත තත්ත්වය හමුවේ වුවද ශ්‍රී ලංකාවට හැකි විය.
ගෝලීය වශයෙන් සංචාරක ගමන් ක්‍රමයෙන් සාමාන්‍යකරණයවීමත් සමගම, කැනඩාවේ සහ ලොව වෙනත් ප්‍රදේශවල සිටින සංචාරකයින් වැඩි පිරිසක් ශ්‍රී ලංකාව වෙත පිවිසෙනු ඇතැයි ශ්‍රී ලංකා රජය අපේක්ෂා කරයි.

කොවිඩ් -19 වසංගතය හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට බලපෑම් එල්ල වී ඇතත්, දූරදර්ශී ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම තුළින් මෙම වසරේ දී සිය ආර්ථිකය නැවත පණ ගැන්වීමට ශ්‍රී ලංකාව සෑම උත්සාහයක්ම ගනිමින් සිටින බව සඳහන් කිරීම වැදගත්ය.

ආහාර සුරක්ෂිතතාව, නීතිය හා සාමය වත්මන් රජයේ සුවිශේෂී ප්‍රමුඛතා වන අතර, අත්‍යවශ්‍ය සියලුම ද්‍රව්‍ය ලබාදීම රජයේ කාර්යයන්හි වැදගත් අංගයක් ලෙස සැලකේ. එබැවින් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය අඛණ්ඩව මහජනතාවට ලබා දීමටත්, අවශ්‍ය තරම් ආහාර ද්‍රව්‍ය තොග ඇති බවට සහතික කිරීමටත් ඉහළ ප්‍රමුඛතාවයක් ලබා දෙනු ලැබේ.

ආරක්‍ෂක තත්ත්වය ගත් කළ, ජාතික ආරක්‍ෂක අවශ්‍යතාවලට අනුකූලව ආරක්‍ෂාව සහ ස්‌ථාවරත්වය සහතික කිරීම සඳහා ශ්‍රී ලංකා රජය උතුරු හා නැගෙනහිර ප්‍රදේශවල අවම හමුදාවක් රඳවාගෙන යන අතර, රටේ වෙනත් ස්ථානවල ද මීට සමාන අයුරින් කටයුතු කෙරේ.

පොලීසිය හෝ ආරක්ෂක අංශ විසින් අත්තනෝමතික ලෙස පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමක් හෝ රඳවා තබා ගැනීමක් සිදු නොවේ.

2009 වසරේ දී ත්‍රස්තවාදී යුධ ගැටුම් අවසන් කිරීමෙන් අනතුරුව, ආරක්ෂක අංශ විසින් විදේශීය රජයන් සහ ජාත්‍යන්තර නියෝජිතායතන කිහිපයක තාක්ෂණික සහාය ඇතිව උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල බිම්බෝම්බ ඉවත් කිරීමේ පුළුල් මෙහෙයුමක් සිදු කරන ලදි.

2014 වසරේ දෙසැම්බර් මස වනවිට බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතු 94%ක් අවසන් කර තිබූ අතර, මේ වනවිට එම අගය 98.7% දක්වා ඉහළ ගොස් ඇත.

ත‍්‍රස්තවාදී තර්ජනයක් පවතින බවත්, ඉදිරියේ දී සිදුවිය හැකි ප‍්‍රහාර වැළැක්විය නොහැකි බවත් එම මාර්ගෝපදේශයේ සඳහන් වී ඇත.

2019 වසරේ නොවැම්බර් මස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයට තේරී පත්වූ දා සිට ත්‍රස්තවාදය යළි හිස එසවීම වැළැක්වීම සඳහා රට පුරා මහජන ආරක්ෂාව සහ ජාතික ආරක්ෂාව සහතික කිරීම සඳහා රජය විසින් සියලුම ක්‍රියාමාර්ග ගනු ලැබීම ද විශේෂත්වයකි.

අදාළ ආරක්ෂක බලධාරීන්ගේ සුපරීක්ෂාකාරී සහ ක්‍රියාශීලී ක්‍රියාමාර්ග හේතුවෙන් මෙම කාලසීමාව තුළ ශ්‍රී ලංකාව තුළ ත්‍රස්තවාදය හා සබැඳි එකදු සිදුවීමක් හෝ සිදුනොවීම තවත් එක් විශේෂත්වයක් වේ.

ශ්‍රී ලංකාව යනු සියවස් ගණනාවක් මුළුල්ලේ විවිධ ප්‍රජාවන් සාමයෙන් සහ සහජීවනයෙන් දිවි ගෙවූ හරවත්, විශ්වීය උරුමයක් සහිත බහු-වාර්ගික, බහු -ආගමික සහ බහු-සංස්කෘතික රටකි.

මෙරට තුළ සිවිල් නොසන්සුන්තාවයක් නොමැත. ශ‍්‍රී ලංකාව සතුව ශක්තිමත් ආයතනික ව්‍යුහයක්, දිගු ඉතිහාසයක් සහිත ප‍්‍රජාතන්ත‍්‍රවාදී සම්ප‍්‍රදායක් සහ ප‍්‍රබල සිවිල් සමාජයක් පවතී.

ලිබරල්වාදී ප‍්‍රජාතන්ත්‍රික සම්මතයන් සහ සම්ප‍්‍රදායන් පවතින වෙනත් ඕනෑම රටක මෙන්ම ශ‍්‍රී ලංකාව තුළද සාමකාමී පෙළපාලි පැවැත්වීම සඳහා අවකාශය ලබාදීම හේතුවෙන් ජනතා ඒකරාශීවීම් සඳහා වන නිදහස සුරක්ෂිත වී ඇත.

එවැනි සාමකාමී පෙළපාලි බාධාවකින් තොරව පැවැත්වීම සඳහා පොලීසිය ඉඩහසර ලබාදී ඇත.
මෙවැනි පෙළපාලි ආදී කටයුතු හේතුවෙන් සංචාරකයින්ගේ සුවපහසුව, ගමනාගමනය, ආරක්ෂාව හෝ ක්‍රියාකාරකම් යනාදියට කිසිදු ආකාරයකින් බාධා එල්ල නොවේ.

කාන්තා සංචාරකයින්ගේ ආරක්ෂාව පිළිබඳව විශේෂ අවධානයක් යොමු කර ඇති අතර, දිවයිනේ සෑම ප්‍රදේශයකම පිහිටි සංචාරක පොලිස් ස්ථාන ඇතුළු පොලිස් සේවය ශක්තිමත් කිරීමට පියවර ගෙන ඇත.
මෙම වැඩසටහන යටතේ දිවයිනේ සියලුම ජනප්‍රිය සංචාරක ගමනාන්තවල පිහිටි පොලිස් ස්ථානවල කාන්තා පොලිස් නිලධාරිනියන් වැඩි වශයෙන් සේවයේ යෙදවීමෙන් පොලිස් ආරක්ෂාව ඉහළ නැංවේ.
ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින්ට සංචාරක පොලිස් ප්‍රාදේශීය ඒකක, ප්‍රාදේශීය පොලිස් ස්ථාන සහ රෝහල් යනාදී වශයෙන් හදිසි අවස්ථාවලදී සම්බන්ධ විය හැකි ඒකකවල දුරකථන අංක මාර්ගගත ලෙස ලබාගැනීමට හැකිය.

ශ්‍රී ලංකාව යනු ඉහළ අධ්‍යාපන මට්ටමක්, ඉංග්‍රීසි භාෂා දැනුමක් සහ සාක්ෂරතාවක් සහිත මිත්‍රශීලී මිනිසුන් වෙසෙන දූපත් රාජ්‍යයක් වන අතර, එතුළ සංචාරකයින්ට හෝ විදේශිකයන්ට එල්ල වන හිරිහැර හෝ ප්‍රචණ්ඩකාරී සිදුවීම් ඉතා දුලබ වේ.

 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්