කින්නියා සිද්ධියේ නාවික හමුදා මැදිහත්වීම ගැන පොලිස් පරීක්ෂණයක්

Picture of අසංක

අසංක

කින්නියා ප්‍රදේශයේ දී මහවැලි ගඟේ අනවසරයෙන් වැලි ගොඩදැමීමට ගිය පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා නාවික හමුදාව මැදිහත්වූයේ කුමන නීතිමය පදනම මත ද යන්න ‌විමර්ශනයක් ඇරඹීමට පොලිසිය සූදානම් වෙයි.

පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සදහා නාවික හමුදාව නීතිවිරෝධී ලෙස සහභාගි වී ඇති බව පැනනැගී ඇති ගැටලුව හමුවේ මෙම විමර්ශනය පවත්වන බව පොලිස් ආරංචි මාර්ග සදහන් කළේය.

මෙම වැලිගොඩදැමීම සම්බන්ධයෙන් වැලටීම් කිරීමට බලය ඇත්තේ භූ විද්‍යා හා පතල් කාර්යංශයේ වැටලීම් අංශයට හා පොලීසියටය.

සිවිල් නීතිය ක්‍රියාත්මක කිරීම සදහා හමුදාවකට නීතිමය බලයක් නොමැති අතර නාවික හමුදාව මෙවැනි වැටලීමක් කරන්නේ නම් ඒ සදහා පොලීසිය දැනුවත් කොට යා යුතු වුවත් මෙහිදී නාවික හමුදාව පොලීසිය වෙත එවැනි දැනුම් දීමක් කර නැතැයි වාර්තා වේ.

ඊයේ දිනයේ දී කින්නියා ප්‍රදේශයේදී මහවැලි ගඟේ වැලි ගොඩදැමීමට ගිය පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා නිලධාරීන්ගිය අවස්ථාවේදී එහි සිටි පුද්ගලයන් පිරිසක් කලබලකාරී ලෙස හැසිරී ඇත.

මෙහිදී නාවික නිලධාරීන් අහසට වෙඩි තැබීම නිසා බියවූ පිරිසක් ගගට පැන ඇති අතර එහිදී දියේ ගිලීමෙන් දෙදෙනකු මියගොස් තිබුණි.

මෙම නොසන්සුන්කාරී වාතාවරණය අතරතුර ප්‍රදේශවාසීන් නාවික හමුදා නිලධාරීන්ට පහර දීම නිසා නාවික නිලධාරීන් 10 දෙනකු තුවාල ලබා රෝහල්ගත කර තිබේ.

ඒ පිළිබද දැනටමත් විමර්ශනයක් සිදුකෙරෙන බව පොලීසිය පැවැසීය.

ගයාන් කුමාර වීරසිංහ