කොරෝනා ඇඳිරියට නිහඬ මැයි දිනය අද

Picture of අසංක

අසංක

 

ලෝක කම්කරු දිනය හෙවත් මැයි දිනය අදට යෙදී තිබේ. ලොවපුරා කම්කරු ජනතාවගේ වෘත්තිය අරගලය දිගැහැරෙන අද දිනයේ බොහෝ මැයි දින පෙළපාලි කොරෝනා තත්ත්වය උත්සන්න වීම හමුවේ අවලංගු කර දමා තිබේ.

ශ්‍රි ලංකාවේ එකදු මැයි දින පෙළපාලියකට හෝ මෙවර අවසර ලබා දී නැති අතර, අද දිනය රටපුරා ඇදිරි නීතිය ක්‍රියාත්මක දිනයකි.

1886 මැයි මස පළමුවැනි දින ඇමෙරිකාවේ චිකාගෝ නුවරට කම්කරුවන් පිරිසක් රැස්වූයේ තම වැඩමුරය පැය අටකට සීමා කරන ලෙස ඉල්ලමින්. දින කිහිපයක් ගතවෙද්දී හැටපන් දහසකට වැඩි පිරිසක් මෙම කම්කරු අරගලයට එක් වූ අතර එහිදී පොලීසිය සිදු කළ ප්‍රහාරයෙන් කම්කරුවන් හතරක් ජීවිතක්ෂයට පත් වූ අතර, එහි දී කම්කරුවන් එල්ල කළ ප්‍රහාරයෙන් පොලිස් නිලධාරීන් හයදෙනෙකු ද ජීවිතක්ෂයට පත් වීමත් සමඟ ඇතිවූ ගැටුමෙන් මියගිය කම්කරුවන් ගනන අදටත් ගණන් බලා නොමැත.

ඒ අනුව එම මියගිය කම්කරුවන් සිහි කිරීම උදෙසා 1889 වසරේ රැස් වූ ජාත්‍යන්තර කම්කරු සංවිධානය තීරණය කළේය මැයි පළවෙනිදා ජාත්‍යන්තර කම්කරු දිනය ලෙස ප්‍රකාශයට පත් කිරීමටයි.

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට කම්කරු දිනය සැමරුවේ 1926 වසරේදී. ඒ කම්කරු නායක ඒ.ඊ ගුණසිංහ ගේ ප්‍රධානත්වයෙන්.
අනතුරුව 1956 දී ජාත්‍යන්තර කම්කරු දිනය එනම් මැයි පලවෙනිදා මෙරට නිවාඩු දිනයක් බවට පත් කිරීමට එස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායක මහතා ප්‍රමුඛ රජය කටයුතු කර ඇත.

මෙවර මැයි දින හඩ ලෝකයේ බොහෝ කම්කරු සංවිධාන අන්තර්ජාලය ඔස්සේ මුදා හැරෙනු ඇත.