කොරෝනා වසංගතයේ මුල හොයන්න ගිය අමෙරිකානු ජනපතිගේ බුද්ධි බළකායට හමුවූ දේ

joe biden over china
Picture of අසංක

අසංක

කොවිඩ්-19 වෛරසයේ මූලාරම්භය පිළිබද සෙවීම සදහා දීර්ඝ විමර්ශනයක නිරත වූ අමෙරිකානු ජාතික ආරක්ෂක උපදේශක බළකායේ බුද්ධි නිලධාරීන් විසින් මෙම වෛරසයේ හටගැන්මට හේතු වූ කරුණු දෙකක් පිළිබද සොයාගෙන තිබෙන නමුත් තවමත් නිශ්චිත නිගමනයකට එළඹිය නොහැකි වූ බව අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩෙන් පවසයි.

ඔහු විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ “මෙම ප්‍රශ්නය පිළිබඳ නිශ්චිත නිගමනයකට එළඹ නැත” යන්න වාර්තාව අවසන් වශයෙන් සදහන් වන නමුත් නිශ්චිත නිගමනයකට සමීප කරවිය හැකි තොරතුරු එක්රැස් කර විශ්ලේෂණය කිරීමට දරන උත්සාහය දෙගුණ කර, දින 90 කින් තමාට නැවත වාර්තා කරන ලෙස තම බුද්ධි බළකායට උපදෙස් දුන් බවය.

අමෙරිකානු විමර්ශකයන්ට මෙම පරීක්ෂණ සදහා චීනය ඉඩ අහුරා තිබූ අතර පසුව යම් ක්‍රමවේද ඔස්සේ මෙම පර්යේෂණය සිදුකිරීමට බුද්ධි නිලධාරීන්, විශේෂඥයන් සමග ක්‍රියා කර තිබේ.

COVID-19 හි මූලාරම්භය ආසාදිත සතෙකු හෝ රසායනාගාර අනතුරකින් සිදුවූයේ ද සැබෑම හේතුව කුමක්දැයි අමෙරිකානු බුද්ධි බලකායේ යාවත්කාලීන විශ්ලේෂණය පිළිබඳ වාර්තාව මේ මස මුලදී අමෙරිකානු ජනාධිපතිවරයා වෙත බාරදී තිබේ. ජනාධිපතිවරයා විසින් එහි පසු විපරමක් ද ඉල්ලා තිබූ බැවින් එම වාර්තාව ලද පසුව ජනාධිපතිවරයා මෙම නිවේදනය නිකුත් කර ඇත.

වෛරසයේ මූලාරම්භය පිළිබද පූර්ණ, විනිවිද පෙනෙන, සාක්ෂි පදනම් කරගත් ජාත්‍යන්තර පරීක්ෂණයකට සහභාගී වීමට ලොව පුරා සෙසු හවුල්කරුවන් සමඟ එක්ව චීනයට බලපෑම් කිරීමට සහ අදාළ සියලු දත්ත සහ සාක්ෂි සඳහා ප්‍රවේශය ලබා ගැනීමට තවදුරටත් අපේක්ෂා කරන බව ද ජෝ බයිඩෙන් සදහන් කර සිටී.