සටහන -දිලීප හෙන්නායක
සහකම්පනය කියන්නේ මොනවගේ දෙයක්ද?
කෙනෙක්ගේ දුකකදී, කරදරයකදී අනේ පව් කීම විතරක්ම නෙවෙයි.
එතනින් එහාට යන හැඟීමක්.තමන්ට ලේ බැඳීමක් තියන කෙනෙක්ට නම් සහකම්පනය කොහොමත් තියනවා.
එහෙම බැඳීමක් නැතුවත් තියෙන්න පුළුවන් ද? ඔව් පුළුවන්….
තර්ස්ටන් විදුහල්පතිතුමා සහ ආචාර්ය මණ්ඩලය දරුවන් ගැන පෞද්ගලිකවම හොයන බලන පිරිසක්..ළමයි හාරපන්දහසක් අස්සේ ඒ වැඩේ කරන්න පුළුවන්ද?
ඔව්…පුළුවන්.
9 වසරේ ඉගෙනගත්ත “රන්දිය” ගැනයි මේ කතාව.
රන්දිය කාගෙත් ආදරය දිනාගත් දක්ෂ දරුවෙක්.
ඔහුට වැලඳී තිබ්බ දරුණු ලියුකේමියා තත්ත්වය නිසා වෛද්‍යවරු ඒ අවදානම ගැන මව්පියන්ටත් කියලා තියෙනවා.
ඒ ඇරත් රන්දිය මේ රෝගය ගැන සම්පූර්ණ තොරතුරු හොයලා කියවලා තිබ්බ බව තමයි ගුරුතුමිය කිව්වෙ.
කොහොම වුණත් අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබන කාලෙම රන්දිය මුළු වාට්ටුවම තමන්ගේ වසඟයට ගත් දරුවෙක්.
ඔහුට වෛද්‍යවරු,හෙදියන් ඇතුළු හැමෝම ආදරේ කළා.රන්දිය පාට කඩදාසිවලින් කරපු ලස්සන ලස්සන නිර්මාණවලින් මුළු වාට්ටුවම හැඩවෙලා තිබ්බා.
ඉස්කෝලෙන් රන්දියට ඈත්වෙලා ඉන්න සිද්ධවුණත් විදුහල්පතිතුමා සහ ගුරුවරු රන්දියව තනිකළේ නෑ.
නිතරම රෝහලට ගියා..හොයලා බැලුවා.
වාට්ටුවෙදි රන්දියට බත් කවන්නෙත් පන්තිභාර ගුරුතුමී.
රන්දියව බලන්න යන එක අවස්ථාවක විදුහල්පති තුමා රන්දියගෙන් අහනවා, “පුතේ..මට මොනවද පුතා වෙනුවෙන් කරන්න පුළුවන්?” කියලා.
“සර්…මට තව ටික දවසකින් පස්සේ ඉස්කෝලේ එන්න බැරිවෙයි…මගේ මල්ලි යන්නේ ගමේ පුංචි ඉස්කෝලෙකට.සර් ට පුළුවන්ද මල්ලිව තර්ස්ටන් එකට ගන්න.මං හරි ආසයි එයා තර්ස්ටන් එනවා දකින්න.”
ඉන් ටික දවසකට පස්සේ රන්දියගේ ඉල්ලීම ඉටුවෙනවා..
සර් ඒක කරන්නෙත් රන්දියට surprise එකක් විදිහට.
රන්දියගෙ අම්මා කිව්වෙ, මල්ලිව ඉස්කෝලෙට ගත්තා කියන ආරංචිය අහලා එයා පුදුම විදිහට සතුටු වුණාලු.
මල්ලි තර්ස්ටන් එනවා බලන්න ආසයි කිව්ව රන්දිය ම තමයි මල්ලිව ඉස්කෝලෙට එක්කගෙන එන්නෙත්.
ප්‍රතිකාර අතරේ ඉස්කෝලෙට එන රන්දිය ව පිළිගන්න එදා ඉස්කෝලෙ උත්සවයකුත් සංවිධාන කරලා.
හිතන්නකො… දරුවෙක්ගෙ අන්තිම කැමැත්ත ඉටු කරන ගමන් එයාව සතුටු කරන්න පුංචි උත්සවයකුත් ඉස්කෝලෙ.
පහුගිය දවසක ඉස්කෝලෙ තිබ්බ චිත්‍ර තරගෙන් රන්දියගේ මල්ලි දිනලා..
සහතිකේ අරන් සතුටින් එළියට ආව පැංචා ව අල්ලගෙන ෆොටෝ එකකුත් ගත්තා මම.
වෛද්‍ය විනිශ්චයට අභියෝග කරන්න බැරිම තැන රන්දිය එයාගේ ජීවිතය ගැන අපේක්ෂාව අත්හැරියා..
පහුගිය පෙබරවාරි 05 වැනිදා රන්දිය යන්නම ගියා.
අයියාගේ මතක එක්ක දැන් ඉස්කෝලෙ ඉන්නෙ මල්ලි.
එයා දවසක රන්දියගේ අපේක්ෂාව ඉටු කරයි.
රන්දිය හදලා දීපු කඩදාසි නිර්මාණය තාමත් විදුහල්පතිතුමාගේ මෙසේ උඩ.
“මේක පුළුවන්තරම් කල් මම මෙතනින් තියාගන්නවා’මේසෙන් අයින්කරන්නේ නෑ” රන්දිය ගැන කියද්දි සර් කිව්වෙ එහෙම.
එක් දරුවෙක් වෙනුවෙන් මේ තරම් කැපවෙන්න,ආදරය දෙන්න ඉස්කෝලෙකට පුළුවන්ද?
ඔව් පුළුවන්..
තර්ස්ටන් කියන්නේ “කොළඹ හතේ ඉස්කෝලයක්” විතරක්ම නෙවෙයි.
අපේක්ෂා රෝහල් වාට්ටුව හැඩකළ රන්දියගේ නිර්මාණ
රන්දියගේ අවසන් ඉල්ලීම ඉටුවූ දා, රන්දිය සිය සොයුරා සමඟ පාසලට ගියදා පැවති උත්සවය, රන්දියගේ මතක අදටත් මේසය මත තබාගෙන සිටින විදුහල්පති
චිත්‍ර තරගයකින් ජයග්‍රහණය කළ රන්දියගේ සොයුරා තර්ස්ටන් විදුහහල්පතිවරයා සමඟ, රන්දියගේ තර්ස්ටන් මතකය..