ගෑස් පිපිරීම් සහ ගිනිගැනීම්වලින් හානි වූවන්ට කඩිනමින් වන්දි ගෙවන ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම ලීට්‍රෝ සමාගමට නිර්දේශ කර තිබේ.
මෑත කාලීනව දිගින් දිගටම වාර්තා වූ ගැස් පිපිරීම්වලින් පාරිභෝගිකයාගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වූ බව කොමිසම පෙන්වා දෙයි.
සිදුවූ ගෑස් අනතුරු පදනම් කරගෙන රජයේ තක්සේරු දෙපාර්තමේන්තුවෙන් ඉදිරිපත් කරන හානි පිළිබඳ තොරතුරුවලට අදාළ පාර්ශ්වයන් වෙත වන්දි ගෙවීම සඳහා කඩිනමින් මැදිහත් වියයුතු බව කොමිසම ලිට්රෝ සමාගමට නිර්දේශ කර ඇත.
මෙම පිපිරීම්වලට හේතුව ගෑස් සංයුතියේ වෙනස්වීම බව ද කොමිසම අවධාරණය කරයි.
ගෑස් සමාගම් සහ අදාළ ආයතනවල වගකීම් විරහිත ක්‍රියාකලාපය හේතුවෙන් ගෑස් ආශ්රිත පිපිරීම් සිදුව ඇති බවද කොමිසම පෙන්වා දෙයි.
කොමිෂන් සභාව වෙත ලැබුණු පැමිණිල්ලක් විභාග කිරීමෙන් පසුව අදාළ කොමිසම මෙම නිර්දේශය කර තිබේ.
කොමිසම තවදුරටත් සඳහන් කර ඇත්තේ ලීට්‍රෝ ගෑස් පුද්ගලික සමාගම, ලාෆ්ස් ගෑස් සමාගම, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය, කාර්මික තාක්ෂණ ආයතනය, සමූපකාර සේවා, අලෙවි සංවර්ධන සහ පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යාංශය, ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යාංශය, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ ශ්‍රී ලංකා පොලීසිය යන වගඋත්තරකාර පාර්ශ්වයන් විසින් තමන්ට පැවරී ඇති වගකීම නිසි ලෙස ඉටු කර නැති බවය.