ගෙවුණු මාස 8 තුළ මත්කුඩු ටොන් 1 1/2ක් අත්අඩංගුවේ

Picture of අසංක

අසංක

මඩකලපුව පොලීසිය, පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය සහ නාවික හමුදාව විසින් කළ ඒකාබද්ධ මෙහෙයුමෙන් අද (04) අත්අඩංගුවට ගත් හෙරොයින් කිලෝ 335 ත් සමග මෙම වසරේ ජනවාරි 01 වෙනිදා සිට අද දක්වා කළ මෙහෙයුම්වලින් ටොන් එකහාමාරකට ආසන්න හෙරොයින් සහ අයිස් නැමැති මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක අංශ සමත්ව ඇත.

ඒ අතර හෙරොයින් මත්කුඩු පමණක් ටොන් එකකට වඩා තිබේ.

අද (04) අත්අඩංගුවට ගත් හෙරොයින් කිලෝ 335 ත් සමග මෙම වසරේ මේවන විට හෙරොයින් කිලෝ 1145 ක් පමණ අත්අඩංගුවට ගැනීමට හැකියාව ලැබී ඇති බවය. වැටලීම් 15273 කදී පුද්ගලයින් 15222 දෙනෙක් එහිදී අත්අඩංගුවට ගෙන තිබේ.

මෙහිදී වැඩිම හෙරොයින් තොගයක් අත්අඩංගුවට ගෙන ඇත්තේ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය සහ නාවික හමුදාව එක්ව කළ ඒකාබද්ධ වැටලීම් වලදීය. වැටලීම් දෙකකදී සැකකරුවන් 14 දෙනෙක් සමග හෙරොයින් කිලෝ 508 යි ග්‍රෑම් 444 ක් අත්අඩංගුවට ගෙන ඇත.

මේ කාලය තුළ දිවයින පුරා පිහිටි පොලිස් ස්ථාන මට්ටමින්ද වැටලීම් 14761 ක් කර සැකකරුවන් 14695 දෙනෙක් සමග හෙරොයින් කිලෝ 147 යි ග්‍රෑම් 461 ක් සොයා ගෙන තිබේ.

මෙම වසරේ මෙතක් සොයාගෙන ඇති අයිස් නැමැති මත්ද්‍රව්‍ය ප්‍රමණය කිලෝ 308 යි ග්‍රෑම් 711 කි. මෙයින් අවිස් කිලෝ 127 කට ආසන්න ප්‍රමාණයක්ම අල්ලාගෙන ඇත්තේද පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය සහ නාවික හමුදාව එක්ව කල ඒකාබද්ධ වැටලීම් වලදීය.

මෙයට අමතරව පොලිස් විශේෂ කාර්ය බලකායද මත්ද්‍රව්‍ය මෙහෙයුම්වලට සක්‍රීය දායකත්වයක් ලබාදෙන අතර කොවිඩ් වසන්ගත තත්වය හමුවේ පවා ඔවුන් හෙරොයින් කිලෝ 35 ක් සහ අයිස් නැමැති මත්ද්‍රව්‍ය කිලෝ 07 කට ආසන්න ප්‍රමාණයක් මේ වන විට සොයාගෙන ඇත.

අයිස් සහ හෙරොයින්වලට අමතරව හසීස් නැමැති මත්ද්‍රව්‍යද කිලෝ 90 කට වැඩි ප්‍රමාණයක් මේ කාලය තුළ සොයා ගැනීමට පොලීසියට හැකියාව ලැබී ඇත. ඒ වැටලීම් 16 කදීය.

කන්ටේනර් පිටින් මෙයට පෙර මෙරටින් මතුවූ කොකේන් නැමැති මත්ද්‍රව්‍ය නම් මේවන විට සොයා ගැනීමට හැකියාව ලැබී ඇත්තේ ග්‍රෑම් 590 ක් වැනි සුළු ප්‍රමාණයකි. ඒ වැටලීම් 26 කදී පුද්ගලයින් 20 දෙනෙකු අත්අඩංගුවට ගනිමිනි.