ගොවිජන ජීවිතය හා බැඳුණු කදුළු කතා පිළිබඳ අවබෝධයක් මට තියනවා

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ගොවිජන ජීවිතය හා බැඳුණු කදුළු කතාව පිළිබඳ අවබෝධයක් සහ අත්දැකීමක් ඇති නායකයෙකු ලෙස තම ප‍්‍රමුඛ වැඩපිළිවෙළ වූයේ ගොවි ජනතාවගේ මූලික ගැටලූවලට ස්ථිරසාර විසඳුම් ලබාදීම බව ජනාධිපතිවරයා පැවසීය.

පාසල් සමයේ සිට නගුල, දෑකැත්ත හුරු ගොවි පුතෙකු ලෙස මෙරට ගොවි ජනතාවගේ ගැටලූ තමාට අරුමයක් නොවු බව ද ජනාධිපතිවරයා සඳහන් කළේ අද (31) පෙරවරුවේ බත්තරමුල්ල, අපේගම පරිශ‍්‍රයේ පැවති උත්සවයක්  අමතමිනි. 

“ගොවි තාත්තා” සිනමා පටයේ වැඩ ආරම්භ කිරීම වෙනුවෙන් මෙම උත්සවය සංවිධානය කර තිබුණි.

ඉපැරණි පරිසර හිතවාදී ක‍්‍රමවේදයෙන් මුලූමනින්ම ඉවත් වෙමින් පරිවර්තනය වූ රසායනික පොහොර භාවිතය හා බැඳුණු නූතන කෘෂිකාර්මික යුගයේ දී ගොවියා සහ මිනිසා මුහුණු දෙන ජීවන ඛේදවාචකයන් අලළා නිර්මාණය වන ලොව ප‍්‍රථම ආසියාතික ගොවි සිනමා සිත්තම ලෙස “ගොවි තාත්තා” හැඳින්වෙයි. 

උණගලා වෙහෙර ගම්මානයේ පේ‍්‍රමරත්න දිසානායක ගොවි මහතාගේ ජීවන පුවත, “ගොවි තාත්තා” නමින් ඔහුගේ පුත් සංගීතඥ දර්ශන රුවන් දිසානායක මහතා විසින් මෙලෙස සිනමාවට නැගීමට නියමිතය.

“ගොවි තාත්තා” සිනමා පටයේ තිර පිටපත එහි නිෂ්පාදක සරත් බණ්ඩාර කොක්වැව මහතා විසින් මෙහිදී ජනාධිපතිවරයා ඉදිරියේ පේ‍්‍රමරත්න දිසානායක මහතාගේ බිරිඳ වන බී.එම්. බිසෝමැණිකේ මහත්මිය වෙත පිළිගැන්වීය. 

ජනාධිපතිවරයා වෙනුවෙන් ද සිහිවටන තිළිණයක් පිළිගැන්විණි.

පාසල් දැරියක විසින් රචනා කරන ලද ගී පද රචනා කිහිපයක් ද මෙහිදී ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කෙරිණි. 

සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තවේ අධ්‍යක්ෂිකා අනූෂා ගෝකුල මහත්මිය ඇතුළු ආරාධිත පිරිසක් ද, දර්ශන රුවන් දිසානායක මහතා ඇතුළු නිෂ්පාදන කණ්ඩායම සහ පේ‍්‍රමරත්න දිසානායක මහතාගේ පවුලේ ඥාතීහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.