දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය යටතේ බැංකු පද්ධතියට හෝ පුරවැසියන්ගේ බැංකු ගිණුම්වලට කිසිදු බලපෑමක් එල්ල නොවන බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා අවධාරණය කරයි.
දේශීය ණය ප්‍රශස්තකරණයේ දී දැනටමත් 50%කට වැඩි බදු මගින් භාණ්ඩාගාරයට සහ ආර්ථිකයට දායක වන බැංකු පද්ධතිය මත තවදුරටත් බරක් පටවන්නේ නැති බවත් මිලියන 57ක් වන මෙරට රාජ්‍ය සහ පෞද්ගලික බැංකු තැන්පතු ආරක්ෂා කරන බවට සහතික වන බවත් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා තවදුරටත් පැවසීය.
ජනාධිපති මාධ්‍ය මධ්‍යස්ථානයේ පැවති හමුවකදී මහ බැංකු අධිපතිවරයා සඳහන් කළේ සේවක අර්ථසාධක අරමුදලේ දැනට ගෙවනු ලබන 9%ක පොලී අනුපාතය තවදුරටත් අඛණ්ඩව ලබාදෙන බවට සහතික වන බවය.
මෙරට සමස්ත ණය ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 84.7කි.
ඉන් දේශීය ණය ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 40.1ක් වන අතර විදේශීය ණය ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 35.9ක් ලෙස සැලකෙයි.
මීට අමතරව සහතික කළ ණය අමෙරිකානු ඩොලර් බිලියන 3.4ක් සහ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ලබාගෙන ඇති ණය ඩොලර් බිලියන 5.1කි.
මෙම දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් අද උදෑසන ජනාධිපති මාධ්‍ය මධ්‍යස්ථානයේදී පැවැත්වුණි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා,
“රජයේ සම්පූර්ණ දේශීය ණය තිරසාර මට්ටමට ගෙන ඒමට නම් අප ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟ වූ ආකාරයට දැනට තිබෙන නිර්ණායක වසර 10ක කාලයක් තුළ යම්කිසි ආකාරයක ස්ථාවර මට්ටමකට ගෙන ආ යුතුව තිබෙනවා. උදාහරණයක් ලෙස 2022 අවසානය වන විට රාජ්‍ය ණය දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස 128%ක් වුණා. නමුත් එය 2032 වන විට 95%කට වඩා අඩු මට්ටමකට ගෙන ආ යුතුව තිබෙනවා. එය තමයි පළවැනි නිර්ණායකය. දෙවනි නිර්ණායකය වන්නේ රජයේ සම්පූර්ණ මුල්‍යකරණ අවශ්‍යතාවය වාර්ෂිකව රජය දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස දැනට පවතින 34.6% ක ප්‍රමාණය 2027- 2032 වසර 05ක කාලය තුළ සාමාන්‍යයෙන් 13% හෝ ඊට පහළ මට්ටමකට ගෙන ඒමයි.”
“තෙවන නිර්ණායකය වන්නේ විදේශ ණය සේවාකරණයයි. එය දැනට දළ දේශීය නිෂ්පාදිතයෙන් 9.4 % ක් ලෙස පවතිනවා. එය 2027- 2032 කාලය තුළ 4.5%ක මට්ටමට ගෙන ආ යුතුයි.”
“මෙම ඉලක්ක ළඟා කර ගතහොත් බාහිර මූල්‍ය පරතරය (external financing gap) පිරවීමට ලැබෙන සහනය, අමෙරිකානු ඩොලර් බිලියන 16.9 කින් අඩු වෙනවා. මේ ඉලක්ක තුන ළඟා කරගැනීමේදී සිදුකළ යුතු තවත් කාරණා තුනක් තිබෙනවා.”
“පළමුවැන්න නිල ද්වීපාර්ශවීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම. ඒ පිළිබඳ සාකච්ඡා මේ වන විට සිදුකරගෙන යනවා. දෙවැන්න වාණිජ වශයෙන් ස්වෛරී බැඳුම්කර මඟින් ගත් මුදල්. ඒ පිළිබඳවත් සාකච්ඡා සිදුවෙනවා. තුන්වැනි කාරණය වශයෙන් දේශීය ණය යම්කිසි ආකාරයකට ප්‍රශස්තකරණය සිදුකිරීම. ඒ අනුව දේශීය ණය ප්‍රශස්තකරණය මෙම ක්‍රියාවලියේ එක් පියවරක් වනවා.”
“දැනට භාණ්ඩාගාර බිල්පත් ට්‍රිලියන 4.1ක් තිබෙනවා. එයින් 62.4%ක්ම තිබෙන්නේ මහ බැංකුව සතුවයි. අප දන්නා පරිදි කලින්ම භාණ්ඩාගාර බිල්පත් දීර්ඝකාලීන භාණ්ඩාගාර බැඳුම්කර බවට පත් කිරීමට එකඟ වී තිබුණා. එයත් ප්‍රමාණවත් නොවන නිසා ඉතිරි ප්‍රමාණය ලබාගැනීම සඳහා අප භාණ්ඩාගාර බැඳුම්කර වෙත අවධානය යොමු කළා. දැනට තිබෙන ආකාරයට ට්‍රිලියන 8.7ක භාණ්ඩාගාර බැඳුම්කර තිබෙනවා. එයින් 36.5%ක් තිබෙන්නේ (superannuation fund) වල. 36%ක් පමණ බැංකුවල තිබෙනවා. ඊට අමතරව අනෙකුත් කොටස රක්ෂණ හා පුද්ගලික අය සතුව තිබෙනවා.”
“බැංකු පද්ධතිය තුළින් තැන්පත්කරුවන්ගේ තිබෙන තැන්පත් ප්‍රමාණය මිලියන 57ක්. රටේ ජනතාව මිලියන 20ක් වුණාට බැංකුවල ගිණුම් මිලියන 57ක් තිබෙනවා. ඒ මුදල්වලට යම්කිසි දෙයක් වුණොත් බැංකු පද්ධතියට වෙන හානිය ඉතා විශාලයි. මහබැංකුව වශයෙන් අපේ ප්‍රධානම අරමුණ බැංකු පද්ධතිය සහ මුදල් ආරක්ෂා කිරීමයි. ඔබ දැක්කා පසුගිය කාලයේ විශාල කටකතාවක් තිබුණා බැංකු කඩා වැටෙනවා. තැන්පත් නැති වෙනවා. බොහෝ දෙනෙක් ඇහුවා තැන්පත් එළියට ගන්නද කියලා. බැංකුවල තැන්පත් ඉවත් කරන්න ගත්තොත් ආර්ථිකයම කඩා වැටෙනවා.”
“ඒ නිසා පළවෙනිම උත්සාහය බැංකු පද්ධතියට හානියක් නොවී ගිණුම් මිලියන 57ක තියෙන තැන්පත්රුවන්ගේ මුදල් ආරක්ෂා කර ගැනීමයි. ඒක තමයි තිබෙන ලොකුම සමාජ බලපෑම. ඒ නිසා බැංකුවලට අත තියන්නේ නෑ.”
“ඊළඟට විශ්‍රාමික අරමුදල් (superannuation fund) ගත්තොත් බැංකුවලට සාපේක්ෂව අඩුවෙන් බදු ගෙවන 14%ක බදුවලට යටත් වූ ඊ පී එෆ් , ඊ ටී එෆ් ඇතුලු බොහෝ දේ තිබෙනවා. මේ සියලු දෙනාගේ තිබෙන භාණ්ඩාගාර බැඳුම්කරවලින් යෝජනා කර තිබෙන්නේ තිබෙන සියපු බැඳුම්කර නැවත රජයට අරගෙන අලුතින් බැඳුම්කර නිකුත් කරනවා. ඒවාට 2025 වෙනකම්ම 12%ක පොලියක් ලැබෙනවා. එතනින් ඉදිරියට 9%ක පොලියක් ලැබෙනවා. අනෙකුත් වැදගත් කාරණය තමයි තමන්ගේ ඊ පී එෆ් හී තිබෙන මුදල අඩු නොවීම. ඉදිරියේදී ලැබෙන්න තිබෙන ප්‍රතිලාභය ලෙස 9% ක පොලියක් රජය විසින් සහතික කරනවා. රජය පැත්තෙන් සහතික වී තිබෙනවා යම්කිසි ආකාරයකින් අඩු වීමක් සිදුවෙනවා නම් භාණ්ඩාගාරය පැත්තෙන් ඒ අඩුව පුරවන බවට.”
“මේ භාණ්ඩාගාර බැඳුම්කර හුවමාරුවට සහභාගි නොවන අයට තෝරා ගැනීමක් තිබෙනවා. ඒ තමයි 14% වෙනුවට සාමාන්‍ය අය ගෙවන ආකාරයට 30% බද්දක් ගෙවීම. මේ අනුව සති කීපයක් ඇතුළත බැඳුම්කර හුවමාරු සිදුකර ජූලි මාසය ඇතුළත මේ ක්‍රියාවලිය සම්පූර්ණ කරන්න බලාපොරොත්තු වෙනවා.”
ඒ අනුව දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය යටතේ බැංකු පද්ධතියට හෝ මෙරට පුරවැසියන්ගේ බැංකු ගිණුම්වලට කිසිදු බලපෑමක් එල්ල නොවන බව මහ බැංකු අධිපතිවරයා සඳහන් කළ අතර මුදල් අමාත්‍යංශ ලේකම්වරයා පැවසුවේ මෙය මේ අවස්ථාවේ ගතයුතු යෝග්‍යතම තීරණය බවය.
මේ අතර සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ගේ ණය ප්‍රතිව්‍යුහගතකරණය කර දෙන්නැයි ලාංකීය එක්සත් ව්‍යවසායකයින්ගේ සංසදය රජයෙන් ඉල්ලීමක් කරයි.
ලාංකීය එක්සත් ව්‍යවසායකයින්ගේ සංසදයේ සභාපති ටානියා එස්. අබේසුන්දර ඒ බව සඳහන් කළාය.