ජනාධිපති, අගමැති සහ ඉහළ පෙළේ රාජ්ය නිලධාරීන්ගේ නම් සඳහන් කරමින් පාසල්වලට ළමයින් ඇතුළත් කරගන්නැයි එන ඉල්ලීම් නොපැකිළ ප්රතික්ෂේප කරන ලෙස සියලු විදුහල්පතිවරුනට ජනාධිපතිවරයා උපදෙස් දී තිබේ.
ජනාධිපතිවරයාගේ, ජනාධිපති කාර්යාලයේ නිලධාරීන්ගේ, අග්රාමාත්යවරයාගේ, අග්රාමාත්ය කාර්යාලයේ නිලධාරීන්ගේ සහ වෙනත් ඉහළ පෙළේ රාජ්ය නිලධාරීන්ගේ නියෝගයක් බව සඳහන් කොට පාසල්වලට ළමයින් ඇතුළත් කර ගන්නා ලෙස බලපෑම් කරමින් විදුහල්පතිවරුන් වෙත ලිපි යොමු කිරීමට ඇතැම් දෙනා පෙළඹී සිටින බව රජය පෙන්වා දෙයි.
සමහර අවස්ථාවල රජයේ නිලධාරීන් ද මෙවැනි ලිපි යවන බව නිරීක්ෂණය වී ඇතැයි රජය පවසයි.
විදුහල්පතිවරුන් තම පාසලට ළමයින් ඇතුළත් කර ගැනීමේ දී එබඳු කිසිදු ලිපියක් පදනම් කර නොගත යුතු අතර ළමයින් පාසල්වලට ඇතුළත් කළ යුත්තේ සම්මත රෙගුලාසි සහ පරිපාටිය අනුවම පමණි.
මේ නියමය කඩකරන විදුහල්පතිවරුනට එරෙහිව දැඩි පියවර ගන්නා බව ජනාධිපති ලේකම්වරයා සියලු විදුහල්පතිවරුනට දැනුම් දෙයි.