නවතම පුවත්

ජන හා නිවාස සංගණනයේ දෙවැනි අදියර අවසන්

අසංක

අසංක

(රමේෂ් වරල්ලෙගම)

ජන හා නිවාස සංගණනයේ දෙවැනි අදියර වන ලැයිස්තුගත කිරීමේ අදියර අවසන් කර තිබේ. ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසන්‍නේ ශ්‍රී ලංකාවේ සමස්ත ග්‍රම නිලධාරී කොට්ඨාස සංඛ්‍යාවෙන් 70%ක් පමණ ලැයිස්තුගත කිරීමේ කටයුතු මේවන විට අවසන් කර ඇති බවයි. සංගණනයේ මීළඟ අදියර වන ගණන් ගැනීමේ අදියර මේ වසරේ තුන්වැනි කාර්තුවේදී ආරම්භ කිරීමට නියමිත ය.

මෙම සංගණනයේදී ලැයිස්තුගත කිරීමේ කාර්යය සදහා නිලධාරීන් 22,000ක් පමණ දායකත්වය ලබා දේ. ලැයිස්තුගත නිලධාරීන් ලෙස 15,000කට ආසන්න නිලධාරින් සංඛ්‍යාවක් පත් කර ඇත. මෙම සංගණනයේදී ජනතාව දැනගත යුතු කරුණ සහ නිලධාරීන් වෙත සංගණනයට තොරතුරු ලබාදිය හැක්කේ කෙසේද? සහ සංගණනයේ වත්මන් තත්වය පිළිබද සවිස්තරයක් මෙම ලිපියෙන් ඉදිරිපත් කෙරේ.

ජන හා නිවාස සංගණනයක් යනු රටේ සිටින සියළුම පුද්ගලයින් හා නිවාස එකවර ගණන් ගැනීමක් ලෙස හැඳින්විය හැක. මෙහිදී කිසිම පුද්ගලයෙකු හෝ නිවාසයක් මඟ නොහැරෙන ලෙසත්, දෙවරක් ගණන් නොගැනෙන ලෙසත් තොරතුරු රැස්කළ යුතු වේ. මේ අරමුණ සාක්ෂාත් කර ගැනීම සදහා ජන හා නිවාස සංගණනයක් අදියර 04කින් සිදු කරනු ලබයි. එනමි සිතියම් සකස් කිරීමේ අදියර, ගොඩනැගිලි ලැයිස්තුගත කිරීමේ අදියර, ගණන් ගැනීමේ අදිියර හා දත්ත ප්‍රචලිත කිරීම ලෙස වේ.

සිතියම් සකස් කිරීමේ අදියරෙහි දී මුළු දිවයිනම ග්‍රම නිලධාරී කොට්ඨාසය පදනම් කර ගනිමින් “සංගණන කාණ්ඩ“ ලෙස හඳුන්වනු ලබන කුඩා කොටස්වලට වෙන් කරනු ලබයි. මෙම සිතියම් සකස් කිරිමේ කාර්යය 2020 වර්ෂයේ දී අවසන් වූ අතර මුළු දිවයිනම සංගණන කාණ්ඩ 88,000කට පමණ වෙන් කර සිතියම්ගත කර ඇත. මෙවර විශේෂත්වය වනුයේ මෙම සියළු සංගණන කාණ්ඩ ඇතුලත් භූගෝලීය දත්ත පද්ධතියක් සකස් කර තිබීමයි.

සංගණනයෙහි දෙවන අදියර ලෙස තොරතුරු රැස් කිරීමට පෙර සිදුකරන මූලික කාර්යයක් වන්නේ දිවයිනෙහි පවතින සියළුම ‘ගොඩනැගිලි’ සිතියම් අදියරෙහි දී සකස් කල සිතියම් පාදක කරගනිමින් ලැයිස්තුගත කිරීමයි. පුද්ගලයෙකු ජීවත් විය හැකි සියළුම ගොඩනැගිලිවල ලේබලයක් අලවා ලැයිස්තුවක් සකස් කර ගැනීම මෙම අදියරේ දී සිදු කෙරේ. උතුරු පළාතේ සියලුම දිස්ත්‍රික්කවල සහ නැගෙනහිර පළාතෙහි මඩකලපුව හා ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයන්හි ලැයිස්තුගත කිරීමේ කටයුතු 2023 වර්ෂයේ ඔක්තෝම්බර් මස 09 දින ආරම්භ වූ අතර අනිකුත් සියලුම දිස්ත්‍රික්කවල 2023 වර්ෂයේ නොවැම්බර් මස 01 දින ආරම්භ වීමට නියමිතව තිබිණි. එසේ වුවද. ග්‍රාම නිලධාරී වෘත්තීය සමිති ක්‍රියාමාර්ග හේතුවෙන් බෝහෝ ප්‍රදේශවල මෙම කටයුතු ඉන් මාසයක පමණ කාලයකට පසුව ආරම්භ විය. කෙසේවෙතත්, නොවැම්බර් 1 ලැයිස්තුගත කිරීම ආරම්භ වූ දිස්ත්‍රික් 18 අතුරින් ඊයේ රාත්‍රිය වන විට අනුරාධපුර දිස්ත්‍රික්කය සියලු ඒකක ලැයිස්තුගක කර අවසන් වී ඇත.

2023 ඔක්තොම්බර් 09 දින ලැයිස්තුගත කිරීමේ කටයුතු ආරම්භ කරන ලද දිස්ත්‍රික්ක සියල්ලෙහිම ක්ෂේත්‍ර කටයුතු මේ වන විට සාර්ථකව අවසන් වී ඇත. අනිකුත් දිස්ත්‍රික්වල ලැයිස්තුගත කිරීමේ කටයුතු 2024 ජනවාරි මස 31 දින අවසන් කිරිමට නියමිතව තිබුණි. එසේ වුවද, දිවයිනෙහි පැවති අධික වර්ෂාව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වයන් ඇතැම් ප්‍රදේශවල ලැයිස්තුගත කිරීමේ කටයුතුවලට දැඩි බාධාවක් ඇති කරන ලද අතර බලාපොරොත්තු වූ ප්‍රගතිය ළඟාකර ගැනිමට නොහැකි විය. කෙසේ වුවත්, ඉදිරි දින කිහිපය තුල ලැයිස්තුගත කිරීමේ කටයුතු අවසන් කිරිමට අවශ්‍ය පියවර මේ වන විට ගෙන ඇත.

ශ්‍රී ලංකාවේ සමස්ත ග්‍රාම නිලධාරී කොට්ඨාස සංඛ්‍යාවෙන් 70.%ක් පමණ ලැයිස්තුගත කිරීමේ කටයුතු මේවන විට අවසන් කර ඇත. ලැයිස්තුගත කිරීමේ කටයුතු නිල වශයෙන් 2024 ජනවාරි 31 දින අවසන් කෙරුණද ඒ ඒ දිස්ත්‍රික්කවලට බලපා ඇති තත්ත්වයන් අනුව ඉදිරි දින කිහිපය තුල ඇතැම් දිස්ත්‍රික්කවලට මෙම කාර්යය අවසන් කිරීමට හැකි වනු ඇත. සියළුම දිස්ත්‍රික්ක මේ වන විට දෛනිකව ඉහළ ප්‍රගතියක් වාර්තා කරමින් මෙම ලැයිස්තුගත කිරීමේ අදියර සාර්ථකව අවසන් කිරීම සදහා අවශ්‍ය කටයුතු සිදු කරමින් පවති. ජන හා නිවාස සංගණනයෙහි පුද්ගලයන් පිළිබඳව තොරතුරු රැස් කිරීමේ කටයුතු ද 2024 වර්ෂයේ දීම සිදු කිරීමට නියමිත වේ. ඒ අනුව, ලැයිස්තුගත කිරීමේ අදියරෙහි කටයුතු කඩිනමින් අවසන් කර ගැනීමට මහජනතාවගේ සහයෝගය ද අපේක්ෂා කෙරේ.

ලැයිස්තුගත කිරීමේ නිලධාරීන් ලෙස ග්‍රාම නිලධාරීන්, සංවර්ධන නිලධාරීන් හා වෙනත් රාජ්‍ය නිලධාරින් ද කටයුතු කරනු ලබන අතර දිස්ත්‍රික් හා ප්‍රාදේශීය පරිපාලනයෙහි අනිකුත් සියලුම නිලධාරීන්ගේ සහයෝගය ද මේ සඳහා ලබා දී ඇත. සංගණන කොමසාරිස් හා නියෝජ්‍ය/ සහකාර සංගණන කොමසාරිස් ලෙස දිස්ත්‍රික් ලේකම්, ප්‍රාදේශීය ලේකම්වරුන්/ සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන් විසින් ලැයිස්තුගත කිරීමේ ක්‍රියාවලියෙහි පරිපාලනමය කටයුතු මෙහෙයවීම සිදු කරනු ලබයි.

නවීන තාක්ෂණය ඔස්සේ ටැබ්ලට් පරිඝණකය මගින් සිදු කරන මෙම ලැයිස්තුගත කිරීමේ අදියරෙහි පුහුණු වැඩසටහන් පැවැත්වීම ඇතුළු සියලුම තාක්ෂණික කාර්යයන් ජලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තු කාර්යය මණ්ඩලය විසින් සිදු කරනු ලබන අතර සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අනුයුක්ත දෙපාර්තමේන්තු නිලධාරීන් හා දිස්ත්‍රික් සංඛ්‍යාලේඛන අංශ ප්‍රධානීන් දිස්ත්‍රික් මට්ටමින් ලැයිස්තුගත කිරිමේ කාර්යය මෙහෙයවමින් පවතී.

සංගණන ආඥා පනත යටතේ ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව වෙත පැවරී ඇති බලතල අනුව මෙම ලැයිස්තුගත කිරීමේ කාර්යය සිදුකරනු ලබන අතර ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව අයත් අමාත්‍යාංශයේ අමාත්‍යතුමා විසින් ජනලේඛන හා සංඛ්‍යාලේඛන අධ්‍යක්ෂ ජනරාල් සංගණන අධිකාරී ලෙස පත්කර බලය පවරන ලබයි. දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ කාර්ය මණ්ඩලය විසින් මෙහි සියළු සැලසුම් කටයුතු සිදුකරනු ලබන අතර ලැයිස්තුගත කිරීමේ කාර්යයයේ දී තාක්ෂණික සහය ලබාදීම ද එම නිලධාරීන් විසින් සිදුකරනු ලබයි.

මෙම දත්ත රැස් කරන මෘදුකාංග පද්දතිය ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ කාර්ය මණ්ඩලය විසින් මගින් සකස් කරන ලද්දකි. ගොඩනැගිලි හා නිවාස ඒකක ලැයිස්තුගත කර ටැබ්ලට් පරිගණකය ඇසුරින් මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ දෙපාර්තමේන්තුවේ සර්වර් පද්ධතිය වෙත දත්ත ලැබෙමින් පවතින අතර එම දත්ත එ් ඒ අවස්ථාවේදීම යම් තාක් දුරකට පරීක්ෂා කිරීම, සහ නිවැරදි කර ගැනීමට හැකියාව ලැබී ඇත.

පෙර සංගණනවලට වඩා මෙවර සංගණනයේ සුවිශේෂීතාවයක් වන්නේ ,

  1. නවීන තාක්ෂණය යොදා ගනිමින් ටැබ්ලට් පරිගණක සහ අන්තර්ජාලය මෙන්ම භූ-අවකාශීය තාක්ෂණයන් සමඟ පරිගණක ආධාරක පුද්ගල සම්මුඛ සාකච්ඡා (CAPI- Computer Assisted Personal Interviewing) භාවිතා කිරීම.
  2. ලංකාවේ සියලුම ගොඩනැගිලි සඳහා අංකයක් ලබා දීම.
  3. සියලුම ගොඩනැගිලි ඒකක සඳහා ගෝලීය ස්ථාන නිර්ණායක (GPS පාඨාංක) ලබාගැනීම.
  4. ග්‍රාම නිලධාරී කොට්ඨස මට්ටමින් ඩිජිටල්කරණය කරන ලද (Digitized) සිතියමක් ලබාදීම ආදියයි.

ලැයිස්තුගත කිරීමේ කාර්යය සදහා නිලධාරීන් 22,000ක් පමණ දායකත්වය ලබාදෙනු ලබන අතර ලැයිස්තුගත නිලධාරීන් ලෙස 15,000කට ආසන්න නිලධාරින් සංඛ්‍යාවක් පත් කර ඇත.

රතු ලේබලයක් අලවන්නේ ඇයි?

සංගණනයෙහි පළවන අදියරෙහි දී සකස් කර ගත් සංගණන කාණ්ඩ සිතියම් අනුව යමින් එම සංගණන කාණ්ඩවල ඇති ගොඩනැගිලි සහ ගොඩනැගිල්ලක් තුළ පවතින සංගණන ඒකක හඳුනාගෙන ඒවා අංක කර ලේබල් කිරීම සිදුකෙරේ. මෙහිදී සංගණන කාණ්ඩයේ අවම වශයෙන් එක් සංගණන ඒකකයක් හෝ සහිත සෑම ගොඩනැගිල්ලක් සඳහාම ගොඩනැගිලි අංකයක් ද, සංගණන ඒකකයක් සඳහා ඒකක අංකයක් ද ලබා දෙනු ලැබේ. මෙය “සංගණන ලේබලය“ නමින් හඳුන්වන රතු පැහැති ස්ටිකරයක ලියා අදාල සංගණන ඒකකයේ හොඳින් පෙනෙන ආරක්ෂිත ස්ථානයක අලවනු ලැබේ. ගොඩනැගිල්ලක් තුල නිවාස, සමූහ වාසස්ථාන, නේවාසික ආයතන හා වාසය සඳහා නොවන ස්ථාන ලෙස සංගණන ඒකක වර්ග 4ක් පැවතිය හැකිය. එහිදී කිසියම් ගොඩැනැගිල්ලක මෙම සංගණන ඒකක වර්ග එකක් හෝ කිහිපයක් තිබිය හැකිය. ඒ සෑම ඒකකයක්ම වෙනම සංගණන ලේබලයක් අලවමින් ලැයිස්තුගත කිරීම සිදු කෙරෙයි.

සංගණන තොරතුරු කාඩ්පත පුද්ගලයින් පදිංචි ස්ථානවලට ලබාදෙන්නේ ඇයි?

සංගණනයේ තුන්වැනි අදියර වන ගණන් ගැනීමේ අදියරෙහි දී ශ්‍රී ලංකාවේ පදිංචි සියළුම පුද්ගලයින් හා එම පුද්ගලයන් පදිංචි වාසස්ථාන පිළිබදව විස්තරාත්මක තොරතුරු රැස්කෙරෙනු ඇත. මෙසේ ලබාගන්නා දත්තවල නිරවද්‍යතාවය ඉතා වැදගත් වේ. ඒ සදහා මෙම කහ පැහැති සංගණන තොරතුරු කාඩ්පත හදුන්වා දි ඇත.

මෙහිදී සාමාන්‍යයෙන් අදාල ඒකකයේ සිටින සියලුම පුද්ගලයින්ගෙන් එම ප්‍රශ්න විමසා පිළිතුරු ලබා ගත යුතුය. යම් හෙයකින් අදාල පුද්ගලයෙකු මුණ ගැසීමට ඉතා අසීරු අවස්තාවක දී, මෙම කාඩ්පතේ සදහන් තොරතුරු ආධාරයෙන් (දුරකතන අංකය) එම පුද්ගලයාව සම්බන්ද කරගැනීමට අපේක්ෂා කෙරේ. ඒ අනුව, මුන ගැසීමට අපහසු,

  • රැකියාවල නියුතු පුද්ගලයින්
  • නිවාසවල පදිංචි නේවාසිකයින්, බෝඩිම් කරුවන්..වැනි
  • සේවා මුර ලෙස රාජකාරිවල නියුතු පුද්ගලයින්

පිළිබඳව නිවැරදි තොරතුරු ලබා ගැනිමට හැකි වේ.

මෙය ඉතා සංකීර්ණ තොරතුරු රැස් කිරීමක් වන අතර යම් පුද්ගලයෙකු විශේෂයෙන් කුඩා දරුවන්, වයස්ගත අයවලුන්, ආබාධිත පුද්ගලයින් මග නොහැරී ගණන් ගැනීමට මෙවැනි ලැයිස්තුවක් තිබීම ඉතා ප්‍රයෝජනවත් වේ. සංගණන තොරතුරු රැස්කිරීමට නියමිත සීමිත කාල පරිඡ්චේදය තුල එය සාර්ථක කරගැනීමේ අරමුණෙන් මෙම කාඩිපත හදුන්වා දි ඇත.

ලැයිස්තුගත කිරීමේ අදියරෙහි දී නිවෙස්වලට ලබාදෙන මෙම කාඩ්පත මෙම වසරේ තුන්වන කාර්තුවේ දී පෙර පැවැත්වෙන ගණන් ගැනීමේ අදියරෙහි දී පුද්ගල හා වාසස්ථාන පිළිබඳව තොරතුරු රැස් කිරීම දක්වා ආරක්ෂිතව තබා ගැනීම සියළු පුරවැසියන්ගෙන් අපේක්ෂා කෙරේ. එම කාඩ්පත නිවැරදිව සම්පූර්ණ කර තෙරතුරු රැස් කිරීමට පැමිණෙන නිලධාරීහට ඉදිරිපත් කිරීමෙන් තොරතුරු රැස් කිරීමට ගතවන කාලය අවම කිරීමටත් දත්ත වල නිරවද්‍යතාවය ඉහළ දැමීමටත් ඉවහල් වේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්