ජර්මනිය මේ වනවිට ශ්‍රී ලංකාවට එරෙහිව, ඉතා අසාධාරණ ලෙස , සංචාරක උපදෙස් මාලාවක් නිකුත් කර ඇත්තේ , ජගත් සමුළුවේදී රුසියාවට එරෙහිවීමට , මෙරට රජය පියවර නොගැනීම හේතුවෙන් බව , ජර්මනියේ AGSEP සංචාරක පර්යේෂණ ආයතනය අනාවරණය කර සිටී .
යුක්‍රේනයට පහරදීම සම්භන්ධව රුසියාවට එරෙහිව එක්සත් ජාතීන්ගේ සමුළුවට යෝජනාවක් ඉදිරිපත්වූ අවස්ථාවේ , ශ්‍රී ලංකාව ඊට ජන්දය දීමෙන් වැළකී සිටි බැවින් , ඊට “එකට එක කිරීමක්”ලෙස ජර්මනිය , මෙරටට එරෙහිව සංචාරක උපදෙස් මාලාවක් නිකුත් කර ඇති බව ජර්මනියේ AGSEP සංචාරක පර්යේෂණ ආයතනයේ අධ්‍යක්‍ෂක , අචාර්ය ඩයිට්මන් ඩොරින්ග් මහතා ( Dr. Dietman Doering) , ඊයේ පැවති මාධ්‍ය හමුවකදී පැවසීය .
ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමනාකරණ ආයතනයේදී පැවති මෙම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවසීය ,
“ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම නිර්දේශ නොකරන බවට සඳහන් කරමින් , ජර්මන් විදේශ කටයුතු අමාත්‍යංශය සංචාරක උපදෙස් පත්‍රිකා නිකුත් කර තිබෙනවා . ශ්‍රී ලංකාව තුල අත්‍යාවශ්‍ය භාණ්ඩ හිඟයක් පවතින බවටත් , ආරක්ෂාව පිළිබඳව ගැටළු පවතින බවටත් එහි දක්වා තිබෙනවා . කාන්තාවනට ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම අවදානම් සහිත බවටද දක්වා තිබෙනවා . මෙම කරුණු සත්‍ය නොවන බව මා දන්නවා . මා වසර කිහිපයක සිට ශ්‍රී ලංකාවේ පදිංචිවී සිටිනවා. ශ්‍රී ලංකාව තුල එවැනි අත්‍යාවශ්‍ය භාණ්ඩ වල හෝ ආහාර වල හිගයක් නැහැ එසේම ආරක්ෂාව පිළිබඳවද කිසිදු ගැටළුවක් නැහැ .
නමුත් රුසියාවට එරෙහිව ජගත් සමුළුවේදී ඉදිරිපත්වූ යෝජනාවේදී අක්‍රීයව සිටීමට ශ්‍රී ලංකාව පියවර ගත් නිසා ජර්මනිය මෙලෙස ලංකාවට එරෙහිව , අසත්‍ය කරුණු අඩංගු සංචාරක උපදෙස් පත්‍රිකාවක් නිකුත් කර තිබෙනවා . මෙහිදී ජර්මන් විදෙස් අමාත්‍යාංශය කර ඇත්තේ අසාධාරණ හා අයුක්තිසහගත කටයුත්තක් .
රුසියාවට එරෙහිව ජන්දය නොදීම ශ්‍රී ලංකාව රාජ්‍යතාන්ත්‍රිකව ගත තීරණයක් , එවැනි තීරණයක් ගැනීමට ශ්‍රී ලංකාවට අයිතියක් තිබෙනවා . විශේෂයෙන්ම ශ්‍රී ලංකාවට තෙල් ආනයනය කරන ප්‍රධාන රටක් ලෙසත් , මෙරට අපනයන භෝග වල ප්‍රධාන ගැනුම්කරුවෙකු ලෙසත් , රුසියාවට එරෙහිව කටයුතු කිරීමට හැකියාවක් ශ්‍රී ලංකාවට නැහැ . එවැනි තත්වයක් තිබියදී , රුසියාවට එරෙහිව ජන්දය නොදීම මත ශ්‍රී ලංකාවට එරෙහිව මෙසේ ‘පලිගැනීම් ” සිදුකිරීමට ජර්මන් විදෙස් අමාත්‍යංශය පියවර ගැනීම පිළිගන්න බැහැ . එය අසාධාරණ කටයුත්තක්.”
ඒ අනුව , මෙම උපදෙස් පත්‍රිකාවල අඩංගු අසත්‍ය කරුණු , පිළිනොගෙන , ශ්‍රී ලංකාවේ සංචාරය කරන ලෙස තමා , ජර්මන් සංචාරකයින්ගෙන් ඉල්ලා සිටින බවද ඩයිට්මන් ඩොරින්ග් මහතා මෙහිදී පැවසීය . ශ්‍රී ලංකාව ලොව සංචාරය කිරීමට සුදුසු රටවල් අතර ඉහළින්ම ඇති රටක් බවත් ඒ මහතා මෙහිදී පැවසීය .
ජර්මනියේ බර්ලින් ටේබල් ටෙනිස් සංගමයේ සභාපති රෝලන්ඩ් සිට්ස්මාන් ( Roland Zitzmann ) මහතාද මෙම මාධ්‍ය හමුවට එකිවු අතර , ඒ මහතා මෙහිදී පවසා සිටියේ මෙවැන්නකි .
” ශ්‍රී ලංකාව ඉතාමත් ආකර්ශනීය රටක්. ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම ඉතාමත් සුන්දර අත්දැකීමක් . මා එය අත්දැකීමෙන්ම දන්නවා. එම නිසා මා මගේ සෙසු ජර්මානු සගයින්ටත් ආරාධනා කරනවා ලංකාවේ සංචාරය කරන ලෙසට . මාලදිවයිනට වඩා විශාල සංචාරක ආකර්ෂණයන් රාශියම් ශ්‍රී ලංකාවේ තිබෙනවා. ඒ අනුව ජර්මනිය ඇතුළු යුරෝපාකරයේ සංචාරකයින් , මෙම සත්‍ය තත්වය අවබෝධ කරගෙන, ශ්‍රී ලංකාව තම ප්‍රධානතම සංචාරක ගමනාන්තය කරගනු ඇතැයි මා අපේක්‍ෂා කරනවා.”
ජර්මන් විදෙස් අමාත්‍යංශය නිකුත් කර ඇති මෙම සංචාරක උපදෙස් පත්‍රිකා නිවැරදි කරන ලෙසට , ශ්‍රී ලංකා රජය දැනටමත් ජර්මන් තානාපති අංශ හරහා ඉල්ලීම් කර ඇති බවත් , මෙම මාධ්‍ය හමුවට එක්වූ , ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා පැවසීය .