නවතම පුවත්

ජාතික ආරක්ෂාව ගැන ශ්‍රීලනිපයෙන් යෝජනාවලියක්

අසංක

අසංක

රටේ ජාතික ආරක්ෂාව තහවුරු කිරීමටත්, ජාතීන් අතර සමගිය, ආගම් අතර සහයෝගිතාව වැඩිදියුණු කිරීම සඳහාත් ජාතික ප්‍රතිපත්තියක් සකස් කළ යුතු බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යෝජනා කර තිබේ.

ඒ සඳහා කරුණු එකොළහකින් සමන්විත යෝජනාවලියක් ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කමිටුව බාර දීමට ඔවුන් කටයුතු කර තිබේ. එය භාර දී ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජ්‍ය ‍ලේකම් ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලසන්ත අලගියවන්න මහතාය.

එම යෝජනාවලියේ අඩංගු කරුණු එකොළහ වනුයේ,

ජාතීන් ආගම් ජන කණ්ඩායම් අතර වෛරය, ප්‍රචණ්ඩත්වය හා එකිනෙකා අතර සැකය පැතිරවීම සාපරාධී වරදක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට අවශ්‍ය නීති සම්පාදනය කළ යුතුය.

ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්‍රමය මුළුමනින්ම සමාලෝචනය කොට ප්‍රතිසංස්කරණය කළ යුතුය. ඒ සඳහා ජාති ආගම් ලෙස බෙදී ඇති අධ්‍යාපන ක්‍රමය වෙනස් කිරීම සඳහා නීති සම්පාදනය කළ යුතුය.

වාර්ගික, ආගමික හා භාෂා ලෙස අධ්‍යාපන ආයතන වර්ග කිරීම වෙනුවට, සියලු ජාතීන් හා ආගම් භේදයෙන් තොරව සියලු දරුවන්ට එක් වහලක් යට අධ්‍යාපනය ලැබිය හැකි අධ්‍යාපන ආයතන පිහිටුවිය යුතුය. හැකිතාක් සමානාත්මතාවයන්ගෙන් යුක්ත වූ අධ්‍යාපන ආයතන පිහිටුවිය යුතුය.

රටේ සියලුම පාසල්වලට ඉගැන්විය යුත්තේ ශ්‍රී ලාංකික එක් ජාතික විෂය නිර්දේශයක් පමණක් විය යුතුය. විෂය නිර්දේශ කළ ජාතික සමගිය, මිත්‍රත්වය, සුහදත්වය, ජාතික අභිමානය වර්ධනය වන ලෙස විෂය නිර්දේශ සකස් කළ යුතුය. මෙරට ඉතිහාසය, සමාජ විකාශනය, සංස්කෘතිය, දේශාභිමානය සහිත පෞරුෂයෙන් යුත් අනාගත පුරවැසියන් බිහිකිරීම අධ්‍යාපනයේ පරමාර්ථ විය යුතුය.

සියලුම පාසල්, අධ්‍යාපන ආයතනවල, අරමුණු, විෂය නිර්දේශ හා අධ්‍යයන ක්‍රමවේදයන් අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ මුළුමනින්ම මෙහෙයවිය යුතුය. රටේ උසස් අධ්‍යාපනය සඳහා වූ විශ්වවිද්‍යාල පාඨමාලාවන්ද මීට සමගාමී ප්‍රතිසංස්කරණයට ලක්විය යුතුය.

කවර විෂය ධාරාවක් යටතේ අධ්‍යාපනය කළද මෙරට ඉතිහාසය, සංස්කෘතිය, මව් භාෂාව, උරුමය පිළිබඳ අවබෝධය විෂය නිර්දේශයට ඇතුළත් විය යුතුය. සමාජ දර්ශනය පිළිබඳ තුලනාත්මක අවබෝධයක් ඇතිකළ යුතුය. සියලු උසස් අධ්‍යාපන විෂය නිර්දේශ අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ලබාදිය යුතුය. එසේම මෙරට වෘත්තීය පුහුණු, තෘතීය පුහුණු පාඨමාලා සඳහා ජාතික සංස්කෘතික උරුමයන් හා ජාතියේ දර්ශනය පිළිබඳ මගපෙන්වීමක් වෘත්තීය පුහුණු අමාත්‍යාංශය විසින් ඇතිකළ යුතුය.

මෙරට පෙර පාසල් අධ්‍යාපනය මුළුමනින්ම අනාගත නිර්මාණශීලී ජාතික අරමුණු සඳහා සූදානම් කරන අඩිතාලමකින් මෙහෙයවිය යුතුය. මිත්‍රත්වය එකිනෙකා වටහා ගැනීම, අවබෝධය ඇති කිරීම සඳහා මගපෙන්වීමක් ලබාදිය යුතුය. එය මුළුමනින්ම ලෝකයේ සෑම දියුණු රටකම පාහේ මෙන් රාජ්‍ය වගකීමක් ලෙස පාලක රාජ්‍ය අමාත්‍යාංශයක් යටතට පත්කළ යුතුය.

මෙරට දරුවන්ගේ උසස් අධ්‍යාපනය රාජ්‍ය වගකීමක් ලෙස සලකා කටයුතු කළ යුතුය. විදේශගතව අධ්‍යාපනය ලබන ශ්‍රී ලාංකික දරුවන්ද මෙරට සංස්කෘතික හා සංස්කෘතික වටිනාකම් පිළිබඳ අවබෝධයක් ඇති කිරීම සඳහා නීති සම්පාදනය කළ යුතුය.

ජාතික, ආගමික, සංස්කෘතික දේශන හා අධ්‍යයන පර්යේෂණ, වැඩමුළු පැවැත්වීමට මෙරටට පැමිණෙන්නන් රටට ඇතුළ්වීමට පෙර විශේෂ පරීක්ෂණයකට ලක් කිරීම සම්බන්ධයෙන් නීති සම්පාදනය කළ යුතුය.

ජාතික ආරක්ෂාවට හා සාමකාමී පැවැත්මට හානිකර වූ ඇඳුම් සහ වෙනත් චර්යාවන් (ෆුල්ෆේස් හෙල්මට්, බුර්කාව වැනි ඇඳුම්) පැලඳීම වැළැක්වීම සඳහා ආගමික නායකයන් හා බුද්ධිමතුන්ගේ උපදෙස් මත ඊට නීතිරීති සම්පාදනය කළ යුතුය.

ජාති, ආගම්, කුල, ප්‍රදේශ පදනමින් දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරීම වැළැක්වීම සඳහා නීති සම්පාදනය කළ යුතුය.

ආගමික සිද්ධස්ථාන හා යාච්ඤා මධ්‍යස්ථාන ඇති කිරීම පිළිබඳව ‍පොදු නීතිරීති සම්පාදනය කළ යුතුය. ජාති හා ආගම් අනුව අමාත්‍යාංශ ඇති කිරීම වෙනුවට එක් ප්‍රධාන ආගමික කටයුතු අමාත්‍යාංශයක් පිහිටුවීම පිළිබඳව නීතිය, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කිරීම.

ජාතික ආගමික සහජීවනය මෙන්ම රාජ්‍ය ආරක්ෂාව පිළිබඳ අවධානය යොමු කරමින් ආගමන විගමන නීති සම්පාදනය කළ යුතුය.

විවිධ රටවලින්, සංවිධානවලින් හා පුද්ගලයන්ගෙන් ලැබෙන අරමුදල් යොදවන්නේ කවර අරමුණු වෙනුවෙන්ද යන්න නිසි අධීක්ෂණයට හා පාලනයකට අදාළ නීති සම්පාදනය කළ යුතුය.

අන්තර්ජාල තොරතුරු හා මුහුණු‍පොත් මගින් සිදුකරන අනිසි පෙලඹවීම් හා සාපරාධී අරමුණු වෙනුවෙන් වූ තොරතුරු පාලනය කිරීම සඳහා නීති සම්පාදනය කළ යුතුය.

මෙම යෝජනාවලිය පිළිබඳව ආංශික අධීක්ෂණ කමිටුව වහා ක්‍රියාත්මක වීමේ පිළිබඳව පළමු සාකච්ඡාව ඉකුත් 17 වැනි සිකුරාදා පාර්ලිමේන්තුවේ පවත්වා තිබේ. ඒ සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු සහ වෙනත් දේශපාලන පක්ෂවල නියෝජිතයන්ද සහභාගි වූ බවද ලසන්ත අලගියවන්න මන්ත්‍රීවරයා පැවැසීය.

එකී යෝජනාවන්ට අදාළ වන විවිධ අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තු ප්‍රධානීන් සමගද මෙම කාරක සභාවේ නියෝජිතයන් විසින් කරුණු සාකච්ඡා කිරීමට නියමිතය. මෙකී යෝජනාවලිය පිළිබඳව සියලු අධ්‍යයනයන් අවසන් කළ පසු මීට අදාළ දළ කෙටුම්පතක් සකස් කෙරුණු ඇත. පසුව එම දළ කෙටුම්පත තවදුරටත් අධ්‍යයනය කිරීමට දේශපාලන පක්ෂ නායකයන් වෙත ලබාදේ. ඉන්පසු නීතිපති මගින් මේ සඳහා පනත් කෙටුම්පතක් නිර්මාණය කරගත යුතුය. එමෙන්ම මේ සමග මේ සඳහා මහජනතාවට අදහස් දැක්වීමට අදාළ පනතට එරෙහිව පුරවැසියන්ට අවශ්‍ය නම් අධිකරණය හමුවට යාමටත් ඉඩකඩ ලබාදිය යුතුය. පසුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අදාළ පනත පිළිබඳ සිය නියෝගය කථානායකවරයා වෙත දැනුම්දිය යුතුය. මේ අතර අදාළ පනත සඳහා කැබිනට් අනුමැතියද ලබාගත යුතුයි.

මෙකී ක්‍රියාවලිය නිමවීමෙන් පසු අදාළ පනත පිළිබඳ විවාදය පවත්වන දිනය නියම කරගත යුත්තේ සභානායකවරයා සහ කථානායකවරයාගේ මූලිකත්වයෙනි. අවසානයේ මෙකී පනත සම්මත වුවහොත් කථානායකවරයා ඒ සඳහා තබන අත්සනින් පසු මෙය රටේ වලංගු නීතියක් බවට පත්වනු ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්