ජිනීවා මානව හිමිකම් සමුළුව ඇරඹේ !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 49 වැනි සැසිවාරය ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර දී අද (28) ආරම්භ වේ.

මෙවර සැසිවාරයේ දී ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයාගේ කාර්යාලය සැසිවාරයට ලිඛිත වාර්තාවක් ඉදිරිපත් කිරීමට නියමිත ය.

එහි කෙටුම්පතක් මේ වනවිට ප්‍රසිද්ධියට පත්ව තිබෙන අතර එය පිටු 9කින් සමන්විත ය.

ශ්‍රී ලංකාවට අදාළ වාර්තාව මේ සතිය තුළදී සැසිවාරයට ඉදිරිපත් වන අතර මාර්තු මස 3 වැනිදා ඒ සම්බන්ධයෙන් විවාදයක් පැවැත්වීමට නියමිත ය.

ඉකුත් වසරේ පෙබරවාරි 22 වැනිදා සිට මාර්තු මස 24 වැනිදා දක්වා පැවැති 46 වැනි සැසිවාරයට ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය සම්බන්ධයෙන් වාර්තාවක් (46/1) ඉදිරිපත් විණි.

එහිදි ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය සම්බන්ධයෙන් 49 වැනි සැසිවාරයට ලිඛිත වාර්තාවක් ඉදිරිපත් කරන්නැයි නිර්දේශ කෙරුණු අතර මෙලෙස ඉදිරිපත් කිරීමට නියමිතව ඇත්තේ එම වාර්තාව යි.

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය සම්බන්ධයෙන් නිරීක්ෂණය කරන්නැයි ද ඊට අමතරව ශ්‍රී ලංකාව ප්‍රතිසන්ධානය (සංහිඳියාව) සහ වගවීම සම්බන්ධයෙන් අත්පත් කරගෙන ඇති ප්‍රගතිය වාර්තා කරන්නැයි ද එම වාර්තාවෙන් (46/1) තවදුරටත් නිර්දේශ කර තිබිණි.

මානව හිමිකම් කවුන්සිලයේ 49 වැනි සැසිවාරයට සහභාගී වීම සඳහා විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ප්‍රමුඛ දූත පිරිසක් මේ වනවිට ජීනිවා නුවරට ගොස් සිටිති.

ශ්‍රී ලංකාවේ ප්‍රතිසන්ධානය (සංහිඳියාව), වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය යන මැයෙන් මහ කොමසාරිස්වරියගේ ලිඛිත වාර්තාව නම් කර ඇති අතර එය ප්‍රධාන කොටස් පහකින් සමන්විත ය.

එහි දෙවැනි කොටස සන්දර්භය (Context) යනුවෙන් නම් කර ඇති අතර, එය මානව හිමිකම්වලට බලපාන නෛතික සහ ආයතනික ප්‍රවර්ධන, හමුදාකරණය සහ ඉඩම් ගැටලු, බහුතරවාදයේ වර්ධනය සහ එයින් ප්‍රතිසන්ධාන සහ සාමය ගොඩනැගීමට එල්ල වන බලපෑම, සිවිල් සමාජයට සහ වින්දිතයන්ට කරන අඩත්තේට්ටම් සහ තර්ජන, සිරභාරයේ/අත්අඩංගුවේ සිටියදී සිදුවන මරණ, වදහිංසා සහ පීඩා, සහ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යන කරුණු හයෙන් සමන්විත ය.

තෙවැනි කොටස ප්‍රතිසන්ධානය සහ වගවීම යනුවෙන් නම් කර ඇති අතර එය සංක්‍රාන්ති යුක්ති ක්‍රියාවලි/යාන්ත්‍රණ සහ ප්‍රධාන පෙළේ නඩුවලදී චූදිතයන් නිදහස් වීම (සංකේතාත්මක/ප්‍රධාන පෙළේ පුද්ගලයන් දුර්විපාක නොලබා සිටීම) යන කොටස් දෙකකින් සමන්විත ය.

අවසන් කොටස නිර්දේශවලින් සමන්විත අතර එහි ප්‍රධාන නිර්දේශ 11ක් ද අතුරු නිර්දේශ 6ක් ද ඇතුළත් ය.