ජේ.ආර්.ගෙ නිවසට කරන්න යන දේ මහින්ද තිස්සට කියයි

Picture of අසංක

අසංක

සමගි ජන බලවේගයේ මන්ත්‍රී තිස්ස අත්තනායක අද පාර්ලිමේන්තුවට ගියේ තමන් ලියූ නොකියූ කතා (UNTOLD STORY) ග්‍රන්ථයේ පිටපත් කිහිපයක්ද රැගෙනය.

පාර්ලිමේන්තුවට පැමිණි විගස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පැමිණ ඇත්දැයි සොයා බැලූ තිස්ස, නොකියූ කතා ග්‍රන්ථයක් ද රැගෙන අග්‍රාමාත්‍ය කාර්යාලයට පැමිණියේය.

“ආ.. තිස්ස එන්න එන්න” යැයි කියමින් තිස්සට කතා කළ අගමැති මහින්ද, “ඉතිං තිස්ස කොහොමදැයි” විමසමින් කාරණාවට මුල පිරුවේය.

තිස්ස, පළමුව තමන් අත තිබූ නොකියූ කතා (UNTOLD STORY) ග්‍රන්ථය අගමැති මහින්දට පිළිගැන්වුයේය. තිස්ස අත්තනායක ‘නොකියූ කතා’ ග්‍රන්ථය ලියා තිබුණේ පසුගිය යහපාලන ආණ්ඩු සමයේ දින 55ක් සිරගතව සිටියදීය.

“මේ පොතේ සර් ගැනත් පරිච්ඡේදයක්ම තියෙනවා යැයි කියමින් තිස්ස කතාව දිගු කළේය. ඒ කාලය මහ පුදුම කාලයක් නේද ? තිස්ස” යැයි කී මහින්ද, මම තුන් පාරක් තිස්සව බලන්න හිරගෙදරටත් ආවා මතකයැයි කීවේය.

මෙම හමුවේදී තිස්ස, අගමැති මහින්දට තවත් කරුණක් සිහිපත් කළේය. ඒ ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාගේ කොළඹ නිවස ගැනය. රජයට පවරා තිබෙන මෙම නිවස දිනෙන් දින ගරා වැටෙමින් තිබෙන බව තිස්ස වතාවක් පාර්ලිමේන්තුවේදීද සිහිපත් කර තිබිණි.

“සර්. ජේ.ආර් ජනාධිපතිතුමාගේ නිවස අනාගතයේ දරු දැරියන්ට බලාගන්න පුළුවන් කෞතුකාගාරයක් කළා නම් හොදයි කියලයි අපේ යෝජනාව” යැයි තිස්ස අගමැති මහින්දට කීවේය.

“මේක ගැන හොයන්න දැනටමත් දන්වලා තියෙන්නෙ. ඒක මම කරනවා” යැයි අගමැති මහින්ද, තිස්සට සහතිකයක් දුන්නේය.