ඩොලර් හිඟය බරපතලයි – පරිප්පු ආනයනයත් නවතීවිද ?

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

විදේශ විනිමය අර්බුදය විසෙඳන ඉතුරු අකමැත්තෙන් වුවත් භාණ්ඩ හිඟයකට මුහුණදීමට සිදුවන්නේ යැයි සම කැබිනට් ප්‍රකාශක බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා අනතුරු අඟවා සිටී

විදේශ විනිමය අර්බුදය විසඳා ගැනීම සඳහා රජය දීර්ඝ කාලීන විසඳුම් සොයන බවත් කෙටිකාලීන විදේශ ණය ලබාගෙන තත්ත්වය පාලනය කිරීමට කටයුතු කරමින් සිටින බවද ඔහු පැවසීය.

කැබිනට් මාධ්‍ය හමුවේ දී ගම්මන්පිල මහතා මේ බව සඳහන් කරන ලදී.

අද වන විට ගෑස් ඇතුළු යම් යම් ආනයන භාණ්ඩවල හිගයක් ඇතිව තිබෙන්නේ අපනයන ආදායමට වඩා ආනයන වියදම ඉහළ යාමෙන් යැයිද කී අමාත්‍යවරයා සංචාරක ව්‍යාපාරයෙන් හා විදේශගත ශ්‍රමිකයන් ගෙන් ලැබෙන ආදායම අඩුවීම මත ආනයන සීමා කරන්නට වී ඇතැයිද පැවසීය.

මේ අතර කර්මාන්ත අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍ය විමල් වීරවංශ මහතා සඳහන් කලේ රට මේ වනවිට ඉතා තීරණාත්මක අඩියකට වැටී ඇති බවයි .

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවසීය ,

මේ හැම දේකටම අපට මුහුණ දෙන්න වෙන්නේ දේශීය වශයෙන් ගුණාත්මක තත්ත්වයෙන් යුතු නිෂ්පාදන බිහි කිරීම මගින් පමණයි. එමගිනුයි රටින් නිකරුණේ එළියට යන ඩොලර් ප්‍රමාණය ඉතිරි කර ගන්න පුළුවන් වෙන්නේ. අපි අපනයන වෙළෙඳපොළ ජය ගැනීමේ ප්‍රමාණයටයි මේ රටට ඩොලර් රැගෙන ඒමට පුළුවන් වෙන්නේ. රුපියල් නම් ඉතින් අච්චු ගහලා හරි හොයාගන්න පුළුවන්. ඩොලර් අපට අච්චු ගහන්න බැහැනේ. ඒ නිසා අපි තීරණාත්මක තත්ත්වයක් තුළ ඉන්න බව දන්නවා නම්, එය ඇත්තටම පිළිගන්නවා නම් අපට වෙන මාවතක් නැහැ ‘දේශීය නිෂ්පාදන බලගැන්වීමේ මාවත’ හැර. අපට අපේ ආහාර ටික රට තුළ නිපදවා ගැනීමට හැකි විය යුතුයි. අපි පාන් සහ පරිප්පුවලට හුරු වෙලා. නමුත් මේ රටේ එක පරිප්පු ඇටයක් නිපදවෙන්නේ නැහැ. ඩොලර් හිගය තීව්‍ර වුවහොත් සමහරවිට පරිප්පු ගෙන්වීම නතර වෙන්න පුළුවන්. එවිට අපි හුරු වූ ජීවන රටාව අභියෝගයට ලක් වෙනවා. එහෙම අභියෝගයට ලක් වන විට උත්තර දෙකක් තිබෙනවා. එකක් තමයි ‘ඉන්න අයට බනිමින් ඉන්න එක’ නැතිනම් ‘ඊට වඩා හපන් කට්ටියක් ගෙනෙන්න බලන එක’. දෙවන උත්තරය තමයි ‘මේ අභියෝගයෙන් එළියට ඒම සඳහා අපට හැකි සෑම ආකාරයකින්ම කැපකිරීමක් කරලා ඊට දායක වීම’. මම හිතන්නේ ඔබ අපි සැමට තිබෙන්නේ ඒ දෙවැනි මාර්ගය.