“උඹ දන්නවද ඇයි උඹ අද ගුටි කන්නේ….” පශ්චාත් බාගයට වේවලෙන් හෝ කොහොඹ කෝටුවෙන් පහර දෙමින් අප පැටි කල සිදු කරන ලද වරද හමුවේ දෙමාපියන් මෙන්ම ගුරුවරුන් දඩුවම් කළේ මෙසේ අසමිනි. දඩුවම් කරන අතරේම ඔවුහු අපගේ වරද නිවැරදි කර ගන්නා ආකාරය අප හට මැනැවින් පැහැදිලි කර දුන්හ. එසේ දඩුවම් විදි අප බහුතරයක් සමාජයේ යහ මගට වැටුනු නමුත් අතිශය නොමගට ගිය වුන් තවමත් අප සමාජයේ ශේෂව සිටින බැව් පැහැදිලි වන්නේ ලාංකීය පාර්ලිමේන්තු සැසිවාර සමාජ මාධ්‍ය තුලින් සජීවීව නරඹන විටදීය.
ඕනෑම රාජ්‍යක් තුල පාර්ලිමේන්තුව යනු උත්තරීතර ආයතනයක් වශයෙන් විරුදාවලිය මෙන්ම සමාජයේ ගරුබුහුමනට පාත්‍ර වන්නේ පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට ජනතා වරම් දිනා ගන්නා පුද්ගලයා සිය ප්‍රජාව වෙත යම් සාධනීය නියෝජනයක් සිදු කිරීමට සමත් වැදගත් දේශපාලනික පුද්ගලයෙකු විය යුතු බවට වූ බරපතල නිර්ණායක සමාජයතුලත්, දේශපලනය තුලත් ස්ථාපිත බැවිනි. මා වෙසෙන ඔස්ට්‍රේලියාව ඇතුලු තවත් ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය දියුණුතලයක පවතින රාජ්‍යන්ගේ පාර්ලිමේන්තුව සදහා තෙරී පත්වන ජනතා නියෝජිතයා ඔහු හෝ ඇය එසේ තෙරී පත්වූ මොහොතේ පටන් තමන්ගේ පෙර පැවති ව්‍යාපාරික හා සිවිල් ජීවිතය අතහැර දමා කිසිදු පෞදගලික ලාබ අපේක්ෂිත ගනුදෙනු පවා නවතා අලුත් දේශපාලනික ගමනකට ප්‍රවිශ්ඨ වන්නේ ජනතා සේවයටම කැපවෙමිනි. එසේම දේශපාලන නියොජිතයින් විසින් දැන හෝ නොදැන සිදු කරන සුළු හෝ වරදක් ඉදිරියේ ජනතාව මුනිවත රකින්නේ නැත ඔවුන් ඊට එරෙහිව වේගයෙන් පෙළගැසෙයි, එසේම ජනතා විරෝධයේ තරම දන්නා දේශපාලන නියෝජිතයින් වරදක් සිදු වූ කල එකී වරද පිළිගෙන සිය ධූරයෙන් ඉල්ලා අස්වන්නේ වරදක් ඉදිරියේ කිසිදු සමාවක් ඔවුනට නොලැබෙන බවු හොදින්ම දන්නා බැවිනි.
ජාත්‍යන්තරය එසේ වුවද ජාත්‍යන්තරය ජය ගැනීමට රාවනා යුගයේ සිට සිහිනදකිමින් සිටින ලාංකීය ජනතාවගේ පාර්ලිමේන්තුව වත්මන පවතින්නේ කුමන් තලයක දැයි ඇසීම පවා බොහෝ වැසියන්ගේ පිළිකුල දනවන්නක් බවටනම් සැක නැත. ජනතා ඡන්දයෙන් පත්වී ජනතා මුදලින් සුඛෝපභොගී අන්දමින් නඩත්තු වෙන මෙකී ඊනියා ජනතා නියෝජතයින් සමස්ත රාජ්‍යයටම වැදගත් පාර්ලිමේන්තු සැසිවාරයන් අතරතුර කරන්නේ කුමක්ද? තිත්ත කුණුහරුප කියා කෑ ගසමින්, නොහොඹිනා රස්තියාදුකරුවන් මෙන් හැසිරෙමින් ජනතාව හමුවේ සමාජ ගත කරමින් සිටින්නේ කුමක්ද? ඇතැම් මන්ත්‍රීවරියන් ජනතාව වෙත ප්‍රකාශ කර සිටින්නේ තමන්ගේ ෆ්‍රන්ට් සයිඩ් එකත් බැක්සයිඩ් එකත් මෙතෙක් ලබා දුන්නේ කා හටද යන්නය. එසේම මේ මොහොතේ සිය දේශපාලන බලය අව භාවිත කරමින් නීතියත්, නීතිය කරවන ආයතන වෙතත් බලපෑම් කොට සිය දුරකථන සංවාද හරහාම ජනතාව ඉදිරියේ නිරාවරණය වී රිමාන්ඩ් බන්ධනාගාරයේ සිට පැමිණ පාර්ලිමේන්තුව අමතා කළ ප්‍රකාශයට සවන් දුන් බහුතරයක් වූ ජනයා ඔහු දෙස බලා සිටියේ තමන් විසින් දැන හෝ නොදැන සිදු කළ වරදේ බරපතල කම හෝ නොවැටහෙන කිරිසප්පයෙක් දෙස බලන අකාරයකිනි. එසේම පාර්ලිමේන්තුවේ නියෝජිතයින්ගේ බහුතරය, වැලි පර්මිට්, බාර් පර්මිට්, ස්පා පර්මිට් හා රේස් බුකී හිමිකරුවන්ගෙන් ගහන බවද එහිදී හෙළිවිය. සුවහසක් වූ අසරන ජනතාවක් සිටින රාජ්‍යයක මෙවන් බහුභූත හෝ බහුරූ කෝලම් තමන් නියෝජනය වන දේශපාලන ආයතනයෙන් හෝ නොයෝජිතයාගෙන් කිසි විටකත් අපේක්ෂා නොකරන නමුත් තමන්ව නියෝජනය කරනු ලබන දේශපාලකයාගේ පැටිකිරිය මෙය නම් ඉන් ගම්‍යමාන වන්නේ ඔවුන්ගේ පාර්ලිමේන්තුව නියෝජනය කරනු ලබන්නේ උන්ගේ පැටි කල දී හෝ පහරක් දී වරද හැදීමට තරම්වත් අසමත් අදබාලයන් පිරිසක් විසින් බවය. මෙවන් වපසරියක් තුල රටක්, ජාතියක්, ආගමක් කෙසේ ප්‍රගමනය වේදැයි නැවතත් ලාංකීය ජනයා බරපතල ලෙස සිතා බැලිය යුතුය.
නීතීඥ තිලංග ශ්‍යාමජිත් ෆොන්සෙකා