ප්‍රබෝධා හෙට්ටිආරච්චි
දකුණු ආසියානු කලාපීය මාතෘ මරණවල පසුගිය වසරේ වේගවත්ම වර්ධනය ශ්‍රී ලංකාවෙන් වාර්තා වී තිබේ.
එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන්නේ කොවිඩ් වසංගතය පාලනයට ගෙන ආ සීමා හේතුවෙන් කලාපීය මාතෘ මරණ ප්‍රතිශතය ඉහළගොස් ඇති බවයි.
පසුගිය වසරේ ශ්‍රී ලංකාවේ මාතෘ මරණ ප්‍රතිශතය 21.5%කි.
කොවිඩ් සීමා හේතුවෙන් අත්‍යවශ්‍ය සේවා අඬපණවීමත්, ප්රතිශක්තීකරණයට ප්‍රමාණවත් පෝෂණයක් නොලැබීමත් නිසා වයස අවුරුදු 5ට අඩු දරුවන්ට මව්වරුන්ට සහ යෞවනයින්ට වැඩි බලපෑමක් එල්ලවී ඇතැයි එම වාර්තාවේ සඳහන් වේ.
කොවිඩ් වසංගතය හමුවේ සෞඛ්‍ය ක්ෂේත්රයට ඇති වූ බලපෑම් හේතුවෙන් දකුණු ආසියානු කලාපයේ මාතෘ හා ළමා මරණ 239,000 ඉක්මවා වාර්තාවී ඇතැයි ද එක්සත් ජාතීන්ගේ සංවිධානය කියයි.
දකුණු ආසියාවේ ඇෆ්ගනිස්තානය, නේපාලය, බංග්ලාදේශය, ඉන්දියාව, පාකිස්තානය හා ශ්‍රී ලංකාව යන රටවලින් එම තත්ත්වය වාර්තාවී ඇති බව එම සංවිධානය නිකුත් කළ වාර්තාවක දැක්වේ.
එම රටවල්වල කොවිඩ් ආසාදිතයින් මිලියන 13ක් පමණ වාර්තා වී ඇත. කොවිඩ් ආසාදිත මරණ 186,000ක් පමණ සිදුව තිබේ.
දකුණු ආසියානු කලාපයේම ජනගහනය බිලියන 1.8කි.
ගෙවුණු වසරේ ඉන්දියාවේ ළමා මරණ අනුපාතය 15.4%ක් ලෙස වාර්තා වී තිබේ.
එමෙන්ම ගෙවුණු කාලයේදී එම කලාපයෙන් අනපේක්ෂිත ගැබ්ගැනීම් මිලියන 3.5ක් වාර්තාවී ඇත.
එම තත්ත්වයට ගොදුරුවූවන්ගෙන් ලක්ෂ 4ක් පමණ නව යොවුන් තරුණියන් ය.