දියේ ගිලීම් වැඩියෙන්ම ‌වෙන්නේ පාසල් නිවාඩු කාලයේ

Picture of අසංක

අසංක

පාසල් නිවාඩු කාලය ගෙවෙන මේ සමයේදී බොහෝ දෙනා සිය පවුලේ සාමාජිකයන් සමග විනෝද චාරිකා යාමට උනන්දු වෙයි. එවැනි චාර්කාවක නිරත වන අවස්ථාවලදී ස්වභාවික ජලාශයකින් හෝ පිහිනුම් තටාකයකින් දියනෑමට කවුරුත් කැමතිය.
ඒසේ වුවත් අනතුරුදායක ස්ථානවලින් මෙන්ම සුරක්ෂිත ස්ථානවලින් ද දියනෑමට ගොස් ජීවිත හානි වැඩියෙන්ම අසන්නට ලැබෙන්නේ ද පාසල් නිවාඩු සමය වන මේ සමයේදී ය. එමෙන්ම වැසි ඇදහැලෙන අවස්ථාවලදී ජලය පිටාර යන ස්ථානවලින් ගමන් කිරීමෙන් ද දියේ ගිලීම සිදුවේ.
ශ්‍රී ලංකාව තුළ ස්වභාවික නොවන හේතු මත සිදුවූ මරණ වැඩියෙන්ම සිදුව ඇත්තේ දියේ ගිලීමෙනි.
පොලිස් මූලස්ථානයේ සංඛ්‍යාලේඛන අංශය පෙන්වා දෙන්නේ පසුගිය වසර තුළ 737 දෙනකු දියේ ගිලීමෙන් මියගොස් ඇති බව ය. එහිදී වැඩිවශයෙන් මියගොස් තිබුණේ කාන්තාවන් ය. සංඛ්‍යාවක් ලෙස ගත්කළ කාන්තාවන් 634කි.
2016 වසරට සාපේක්ෂව 2017 වසරේදී දියේ ගිලීමෙන් වූ මරණවල 17%ක අඩුවක් දක්නට ඇත. නමුත් පසුගිය වසර වනවිට එම සංඛ්‍යාව 5%කින් යළි ඉහළ ගොස් තිබේ.
දියේ ගිලීමෙන් මියගොස් ඇත්තේ වැඩි වශයෙන් අවුරුදු 8-40ත් අතර වයසේ අයයි.