දේශපාලුවන්ගේ අනුහසින් ‘හම්බන්තොට අලි කළමනාකරණ රක්ෂිතය’ කට්ටි කර විකිණීමේ ජාවාරමක්

Picture of අසංක

අසංක

හම්බන්තොට ප්‍රදේශයේ යෝජිත අලි කළමනාකරණ රක්ෂිතයට අයත් වනාන්තර ඉඩම්, ව්‍යාජ ඔප්පු සකසා කට්ටි කර විකිණීමේ ජාවාරමක් ක්‍රියාත්මක බව ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය අනාවරණය කරයි.

අක්කර 500ක පමණ වන මෙම භූමිය වලව මහවැලි කලාපය ලෙස ප්‍රකාශයට පත්කර ඇති මෙය ගන්නොරුව නින්දගම ලෙස හැදින්වේ.

පන්වැව සිට ගන්නොරුව දක්වා විහිදී ඇති මෙම රක්ෂිතය මේ වනවිට අක්කර 25 සහ අක්කර 50 බැගින් වන ඉඩම් කට්ටි කර කොළඹ සිටින ව්‍යාපාරිකයන්ට අලෙවි කර ඇතැයි ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයේ සජීව චාමිකර මහතා චෝදනා කර සිටියි.

වැලිසමන්, ගන්නොරුවේ චමින්ද සහ පන්වැව තුෂී යන අන්වර්ථ නාමවලින් හැදින්වෙන පුද්ගලයන් විසින් මෙම සමස්ත ජාවාරම මෙහෙයවන බවට ඉහත ව්‍යාපාරය චෝදනා කළේය. ඒ සදහා සියලු දේශපාලන පක්ෂවල ප්‍රබලයින් මෙම ව්‍යාපාරිකයන්ට අවශ්‍ය දේශපාලන රැකවරණය ලබාදෙන බව ද සජීව චාමිකර මහතා අනාවරණය කර සිටියි.

එම භූමියේ කෙරෙන වාණිජ වගාවන්, හෙළිකිරීම්, බොරළු කැණීම, කළුගස් කැඩීම හා අලුතින් ගම්මාන සෑදීම වැනි සංවර්ධන කටයුතු සිදුකිරීම නිසා මෙම භූමිය  රක්ෂිතයක් ලෙස ප්‍රකාශයට පත්නොකිරීම ද මෙම තත්වය වඩාත් උග්‍රවීඹට බෙහෙවින් බලපා ඇතැයි ඉහත ව්‍යාපාරය අවධාරණය කළේය.