නිදහස් උළෙල දා  – මාර්ග 21කට සීමා  – ආරක්ෂාවට නිලධාරීන් 3000ක්

Picture of Roshan

Roshan


අසංක නවරත්න

ජාතික නිදහස් දින උළෙලට සමගාමීව කොළඹ නගරය සහ බස්නාහිර පළාත ආවරණය වන ලෙස විශේෂ ආරක්ෂක සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට නියමිතය.

ලබන 04 වැනිදාට යෙදෙන 74 වන ජාතික නිදහස් දින උළෙලේ ආරක්ෂාව සඳහා නිලධාරීන් 3000 කට අධික පිරිසක් යෙදවීමට පියවර ගෙන ඇත. ශ්‍රී ලංකා පොලිසිය, විශේෂ කාර්යය බළකාය සහ ත්‍රිවිධ හමුදාවේ ද සහය ඇතිව එම ආරක්ෂක වැඩපිලිවෙල ක්‍රියාත්මක කෙරේ.

පෙබරවාරි මස 04 දින මාර්ග 21 ක ගමනාගමනය සීමා කෙරෙන බවත්, එමඟින් ජනතාවට අපහසුතාවයක් නොවන පරිදි එම මාර්ග වලට අදාළ විකල්ප මාර්ග භාවිතා කිරීමට අවශ්‍ය කටයුතු සුදානම් කර ඇති බවත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසයි.

උත්සවයට පැමිණෙන ආරාධිත අමුත්තන් සඳහා ආරාධනා පත්‍රය සමඟ ලබා දී ඇති රථගාල් කිරීම සම්බන්ධ වූ ලේබලය සහිතව පෙරවරු 7.30 ට පෙර පැමිණෙන ලෙස සියලු ආරාධිත අමුත්තන්ගෙන් ඉල්ලා සිටින බව ද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

මේ අතර අභිමානවත් 74 වන නිදහස් දින පෙළපාලියට සමගාමීව මෙවර නාවික හමුදාවෙන් අචාර වෙඩිමුර 25 ක් සහ ගුවන් හමුදාවෙන් ගුවන් යානා සංදර්ශනයක් පැවැත්වීමට සියලු කටයුතු සුදානම් කර තිබේ.

ඒ අනුව චාරිත්‍රානුකූලව පැවැත්වෙන දේශය වෙනුවෙන් ශ්‍රී ලංකා ගජබාහු නෞකාවෙන් පිරිනමන ආචාර වෙඩිමුර 25 ක් ගාලුමුවදොර සිට පිරිනැමීමට කටයුතු යොදා ඇත.

එසේම ත්‍රිවිධ හමුදාවත් සමඟ පාබල හමුදාව ජාතික උත්සවයට එක් වන අතර ගුවනේ සිට අභිමානය ගෙන ඒමට ගුවන් යානා 26 ක් සහ ගුවන් නියමුවන් 50 ක් ඇතුළත් ගුවන් යානා සංදර්ශනයක් පැවැත්වීමට සැලසුම් කර තිබේ.