නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහට නඩු අවසන් වනතෙක් වැඩ තහනම දිගටම

Picture of අසංක

අසංක

වැඩ තහනමට ලක්ව සිටින නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතාට එරෙහිව ඇති නඩු කටයුතු අවසන්ව ඔහු නීතිය හමුවේ නිවැරදිකරුවෙක් වන තුරු නැවත සේවයේ නොපිහිටුවීමට ජාතික පොලිස් කොමිසම තීරණය තර තිබේ.

මෙම තීරණයට ජාතික පොලිස් කොමිසම එළබ ඇත්තේ ඊයේ 10 කොමිසන් සභාව රැස්වී ඒ සම්බන්ධයෙන් කළ දීර්ඝ කරුණු අධ්‍යනයකින් අනතුරුවය.

ආන්දෝලනයට තුඩුදුන් යාපනයේ විද්‍යා සිසුවිය පැහැරගෙන ගොස් දූෂණයකර ඝාතනය කිරීමට සම්බන්ධ සැකරුවන්ට පළායාමට ආදාර හා අනුබලදීම ඇතුළු අපරාධ තුනක් සම්බන්ධයෙන් ඔහුට එරෙහිව අධිකරණමය ක්‍රියාමාර්ග සිදුවන බැවින් ඔහුව නැවත සේවයේ පිහිටුවීම නුසුදුසු බව කොමිසමේ සියළු සාමාජිකයන්ගේ අදහස වී තිබේ.

පොලිස් කොමිසම ඒ සම්බන්ධයෙන් නීතිපතිවරයාගේද අදහස් විමසා ඇත. නීතිපති උපදෙස වී ඇත්තේ ද මේවැනි තත්වයක් ඇති අයෙක් නැවත සේවයේ පිහිට නොවිය යුතු බව යැයි කොමිසමේ උසස් නිලධාරියෙක් පැවැසීය.

ලලිත් ජයසිංහ මහතා නැවත සේවයේ පිහිටුවනු ලැබුවහොත් වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාට පසුව සිටින ජ්‍යෙෂ්ඨතම නිලධාරියා වන්නේ ඔහුය. තවත් මාස 10 කින් සිය වයස අවුරුදු 60 සම්පූර්ණවීමෙන් විශ්‍රාම යාමට නියමිතව සිටින ලලිත් ජයසිංහ මහතා නැවත සේවයේ පිහිටුවුවහොත් පොලිස්පති තනතුරට පවා පත්කිරීමේ ඉඩකඩ ඇතැයි පොලිස් දේපාර්තමේන්තුව තුළ දැඩි කථාබහක්ද ඇතිව තිබේ.