පලස්තීන හා ඊශ්‍රායල මාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව තහවුරු කරන්න – ආසියානු මාධ්‍ය හා සංස්කෘතික සංගමය

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

පලස්තීනය හා ඊශ්‍රායලය අතර මේ වනවිට මතුව ඇති යුධ ගැටුම් හේතුවෙන් මාධ්‍යවේදීන් ඇතුළු සිවිල් ජනතාවට එල්ලවන පීඩාවන් පිළිබඳව දැඩි ලෙස කණගාටුවට හා කම්පනයට පත්ව සිටින බව ආසියානු මාධ්‍ය හා සංස්කෘතික සංගමය අවධාරණය කර සිටී .

ඒ අනුව මාධ්‍යවේදීන් ඇතුළු සිවිල් ජනතාවගේ ආරක්‍ෂාව තහවුරු කරන ලෙස දෙරටේම නායකයින්ගෙන් ඉල්ලා සිටින බවද පලස්තීන හා ඊශ්‍රායල තානාපති කාර්යාල වෙත ලිපි යොමු කරමින් ආසියානු මාධ්‍ය හා සංස්කෘතික සංගමය සඳහන් කර ඇත .

සිවිල් ජනතාවගේ ජීවිත අහිමි කරමින් , ඔවුන්ගේ දේපල විනාශ කරමින් , මාධ්‍ය ආයතන පවා ඉලක්ක කරගනිමින් ක්‍රියාත්මක මෙම යුධ ගැටුම් , ප්‍රජාත්නත්‍රවාදයට හා මානව හිමිකම් වලට සපුරා පටහැනි බවද , ආසියාකරයේ මාධ්‍ය නිදහස හා මාධ්‍යවේදීන්ගේ අයිතීන් වෙනුවෙන් ක්‍රියාත්මක වන සංවිධානයක් ලෙස , තම සංගමය දැඩි ලෙස අවධාරණය කරන බවද එම ලිපිවල දක්වා ඇත .

ඊශ්‍රායල හා පලස්තීන සිවිල් ජනතාවගේ මානව හිමිකම් වෙනුවෙන් කොන්දේසි විරහිතව තම සංගමය පෙනී සිටින බවත් , දෙරටටම කඩිනමින් සාමය උදාවනු ඇතැයි ප්‍රාර්ථනා කරන බවත් සංගමයේ සභාපති උපුල් ජනක ජයසිංහ හා මහ ලේකම් පැතුම් වික්‍රමරත්න යන අයගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති මෙම ලිපිවල දක්වා ඇත .