නවතම පුවත්

“ප්‍රශ්න මැද්දේ වුණත් අපේ ප්‍රශ්න අපිටම විසඳගන්න පුළුවන්”

අසංක

අසංක

ශ්‍රී ලංකාවේ ජනතාවට ස්ථීර සහ ඔරොත්තු දීමේ හැකියාවක් ඇති බවත් වත්මන් අභියෝග පිළිගෙන නව ජවයකින් ඉදිරියට යාමට පසුබට නොවන බවත් විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා අද ආරම්භ වූ ස්විස්ටර්ලන්තයේ ජිනීවාහිදී පැවති මානව හිමිකම් කවුන්සිල සැසිවාරය අමතමින් පවසා තිබේ.

ඔහු එහිදී වැඩිදුරටත් අවධාරණය කර ඇත්තේ දැඩි බාධාවන් සහ අභියෝග මධ්‍යයේ වුවද, ස්වාධීන දේශීය ආයතන හරහා මෙරට මානව හිමිකම් ආරක්ෂා කිරීම සහ ප්‍රතිසන්ධානය පිළිබඳ ප්‍රගතියක් ලබා ගැනීමට ශ්‍රී ලංකාව දැඩි ලෙස කැපවී සිටින බවයි.

“මෑත අතීතයේ සිදු වූ සිදුවීම් පිළිබඳව අපි දැනුවත්ව සහ දැඩි ලෙස සංවේදීව සිටිමු. අභ්‍යන්තර හා බාහිර සාධකවලින් පැන නගින දරුණු ආර්ථික අර්බුදය අප සැමට බොහෝ පාඩම් සපයයි. . අපේ ජනතාව මුහුණ දෙන සමාජ-ආර්ථික දුෂ්කරතා සම්බන්ධයෙන් රජය අතිශයින් සංවේදී වන අතර, ප්‍රජාවගේ ජීවිතයට අත්‍යවශ්‍ය සැපයුම් සැපයීම තුළින් අභියෝගවලට මුහුණ දීම සහ ඔවුන්ගේ යහපැවැත්ම සහතික කිරීම සඳහා ක්ෂණික බහුවිධ ක්‍රියාමාර්ග ආරම්භ කර ඇත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවකට පැමිණ ඇති අතර, ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ සාකච්ඡා කෙරෙමින් පවතී. අර්බුදයේ අහිතකර බලපෑම්වලින් වඩාත් අවදානමට ලක්විය හැකි අය ආරක්ෂා කිරීම සඳහා රජය එක්සත් ජාතීන්ගේ නියෝජිතායතන මෙන්ම ද්විපාර්ශ්වික හවුල්කරුවන් සමඟ සංවාදයක යෙදී සිටී. බහුවිධ අභියෝග මධ්‍යයේ වුවද, තිරසාර සංවර්ධනය සඳහා වූ 2030 න්‍යාය පත්‍රයේ ඉලක්ක සපුරා ගැනීම සඳහා ශ්‍රී ලංකාව දිගටම රැඳී සිටීමට උත්සාහ කරනු ඇත.

බොහෝ අභියෝග හරහා, ශ්‍රී ලංකාවේ ජනතාවට, ආසියාවේ පැරණිතම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් ලෙස තම ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් ආරක්ෂා කරන අතරම ස්ථීර සහ ඔරොත්තු දීමේ හැකියාවක් ඇත. අපගේ අභියෝග පිළිගෙන නව ජවයකින් ඉදිරියට යාමට අපි පසුබට නොවෙමු. අපගේ ක්ෂණික අවධානය ආර්ථික ප්‍රකෘතිය වන අතර, අපගේ ජනතාවගේ මානව හිමිකම් ඉදිරියට ගෙන යාම සමාන ප්‍රමුඛතාවයකි. අපි මෙම මාර්ගයේ ගමන් කරන විට, මෙම කවුන්සිලයේ සැබෑ සහයෝගය සහ අවබෝධය අපේක්ෂා කරමු.” යැයි ද විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා ශ්‍රී ලංකාවව නියෝජනය කරමින් සිය වාර්තාව ඉදිරිපත් කිරීමේදී කියාසිටියේ ය.

මෙහිදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ වැඩබලන කොමසාරිස්වරිය වන නාදා අල් නශීෆ් අද (12) ශ්‍රී ලංකාව පිළිබඳ වාර්තාවක් එම කවුන්සිලයේ සමාරම්භක සැසියට ඉදිරිපත් කරමින් පෙන්වාදුන්නේ, මානව හිමිකම් ප්‍රවර්ධනයට සහ සංහිඳියාව ඇති කිරීම සඳහා අවශ්‍ය සාකච්ඡාව ඇති කිරීමට කැපවී කටයුතු කරන ලෙස තමා නව රජය ධෛර්යමත් කරන බවය.

එසේම ආයතනික වශයෙන් වෙනස්කම් සිදුකිරීම, ප්‍රජාතන්ත්‍රවාදයේ සහ ආරක්ෂක අංශ වල ප්‍රතිසංස්කරණ වැදගත් බවත් පැවසූ ඇය විශේෂයෙන්ම වැරදිකර ඇති අයට නිසි දඬුවම් ලබාදීම සඳහා ප්‍රධාන වශයෙන් වැදගත් වන ආයතනවල ස්වාධීනත්වය ඇතිකළ යුතු බවද සඳහන් කර ඇත. අගෝස්තු 18 වනදා ශිෂ්‍ය ක්‍රියාකාරී නායකයින් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන රඳවා තබාගැනීම සඳහා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යොදාගැනීම කනගාටුවට කරුණක් බව ඇය ඉදිරිපත් කළ වාර්තාවේ දැක්වේ.

මේ අතර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් සිය සහාය ලබාදෙන බව ජිනීවා හි පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ චීන නිත්‍ය නියෝජිත චෙං ෂු මහතා පවසයි. අද ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී ආරම්භ වූ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 51 වන සැසිවාරය අමතමින් හෙතෙම වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කර ඇත්තේ සමාජ ස්ථාවරත්වය පවත්වා ගැනීම, ස්වෛරීභාවය සහ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම සඳහා ශ්‍රී ලංකාවට විශාල සහයක් ලබාදෙන බවත් සංහිඳියාව ආරක්ෂා කිරීම සඳහා ශ්‍රී ලංකාව දරණ අඛණ්ඩ උත්සාහය චීනය අගය කරන බවත් ය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්