පාරවල් හැදීම ආර්ථික වර්ධනයට ඉතා වැදගත්..- ජනපති

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

මාර්ග සංවර්ධන ව්‍යාපෘති විධිමත් සහ කාර්යක්ෂම කිරීම ග්‍රාමීය ආර්ථික සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමට ඉවහල් වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පෙන්වා දුන්නේය.

එසේම ග්‍රාමීය මාර්ග සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ දී ප්‍රසම්පාදන ක්‍රියාවලිය විධිමත් විය යුතු බවත්, කිහිප දෙනෙකු අතට කොන්ත්‍රාත් ලැබෙනවා වෙනුවට එහි ප්‍රතිලාභ ප්‍රාදේශීය සහ ග්‍රාමීය ජනතාවට ලැබෙන අයුරින් එම ව්‍යාපෘති සැලසුම් කිරීමේ වැදගත්කමත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීමේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස් පළ කළේය.

ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වන ව්‍යාපෘති පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සමාලෝචනයට ලක් කෙරුණු අතර මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත – මීරිගම කොටසේ ඉදිකිරීම් සම්බන්ධව ද විශේෂ අවධානය යොමු කෙරිණි.