මෙරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා චර්යාධර්ම සංග්‍රහයක් සකස් කිරීමට සහ ඒ පිළිබඳ විමර්ශනයට ස්වාධීන ආයතනයක් පිහිටුවීමට රජය පියවර ගෙන තිබේ.
ඒ සඳහා සකස් කර ඇති මූලික කෙටුම්පත පිළිබඳව පාර්ලිමේන්තුවේ කතානායකවරයාගේ සහ සියලුම පක්ෂ නායකයින්ගේ අදහස් ලබාගැනිමට නියමිතය.
ඉන් අනතුරුව පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීමටත් අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වගවීම, විශ්වාසනීයත්වය, පැහැදිලිභාවය සහ වෘත්තීයභාවය පිළිබඳව සහතික වීම ව්‍යවස්ථාදායකයේ සඵලත්වය, විනිවිදභාවය සහ සාධාරණත්වය පිළිබඳව මහජන විශ්වාසය ඉහළ නැංවීම සඳහා අත්‍යවශ්‍ය සාධකයන් වේ.
එබැවින්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සෑම අවස්ථාවකදීම තම බලතල, වරප්‍රසාද, කාර්යයන් සහ කර්තව්‍යයන් විශ්වාසවන්තභාවයෙන් සහ අවංකභාවයෙන් යුතුව ක්රියාවේ යෙදවිය යුතුව ඇත.
ලෝකයේ බොහෝ රටවල පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වූ චර්යාධර්ම පද්ධතියක් ක්‍රියාත්මක කිරීම සඳහා සහ එම කටයුතු අධීක්ෂණය කිරීම සඳහා යාන්ත්‍රණයක් පවතී.
ඒ අනුව, අග්‍රාමාත්‍යවරයා සහ අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා ඒකාබද්ධව ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.