පාස්කු කොමිසමේ වාර්තාව ලබන 10 වැනිදා  මැතිසබේ විවාදයට 

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ප්‍රබෝධා හෙට්ටිආරච්චි

 

පාස්කු කොමිසමේ අවසන් වාර්තාව ලබන 10 වනදා පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට තීරණය කර තිබේ.

 

ආණ්ඩු පක්ෂය විසින් ඉදිරිපත් කරනු ලබන සභාව කල්තැබීමේ යෝජනාවක් ලෙස පාස්කු ඉරිදා ප්‍රහාර පිළිබඳ සොයා බැලූ ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව පෙරවරු 11.00 සිට පස්වරු 5.30 දක්වා විවාදයට ගැනීමට නියමිතය.

 

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (04) පැවැති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී ඒ පිළිබඳව තීරණය වී ඇත.

 

රජය විසින් ගෙන එනු ලබන සභාව කල් තැබීමේ යෝජනාවක් ලෙස එය විවාදයට ගැනීමට එම රැස්වීමේදී තීරණය කර ඇත.

 

මාර්තු 9 වැනිදා පෙරවරු 10.00ට පාර්ලිමේන්තුව ආරම්භ කරන අතර පෙරවරු 10.00 සිට පෙරවරු 11.00 දක්වා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වාචික ප්‍රශ්න සඳහා කාලය වෙන් කෙරේ.

 

මෙරට කාන්තාවන්ට සිදුවූ වෙනස්කම් සහ කාන්තාවන්ගේ අයිතිවාසිකම් කඩවීම පිළිබඳව සොයා බලා ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය තහවුරු කිරීමට නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය විසින් ඉදිරිපත්කර ඇති යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම ද මෙදින සිදුවේ.

 

මාර්තු 10 වැනි බදාදා අග්‍රාමාත්‍යවරයාගෙන් අසනු ලබන ප්‍රශ්න මෙවර ක්‍රියාත්මක නොවුවද පෙරවරු 10.00 සිට පෙරවරු 11.00 දක්වා මන්ත්‍රීවරුන්ගේ වාචික ප්‍රශ්න සඳහා කාලය වෙන් කෙරෙනු ඇත.

 

මාර්තු 12වන සිකුරාදා දින පාර්ලිමේන්තුව රැස් නොවේ.