‘පාස්පෝට් ප්‍රශ්න නිසා හැංගිලා ඉන්න එපා සහනයක් දෙන්න ලෑස්තියි’- පොලීසිය

Picture of අසංක

අසංක

මේ මස පළමුවැනිදා 15 වැනිදා දක්වා ඉතාලිය ඇතුලු යුරෝපීය රටවල සිට මෙරටට පැමිණි ඇතැම් පිරිස් ඔවුන්ගේ විදෙස් ගමන් බලපත්‍ර වල ඇති ගැටලු මුල්කරගෙන නිරෝධායන කටයුතුවලට සම්බන්ධ නොවී සැඟවී සිටින බවට තොරතුරු ඇති බව පොලිස් නීති කොට්ඨාස ප්‍රධානී නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

“සමහර පුද්ගලයෝ මෙරටට එන්නේ එක පාස්පෝට් එකකින්. මෙරටින් යන්නේ වෙනත් නමක් තියෙන එකකින් වෙන්නට පුළුවන්. ඒක ආගමන විගමන නීතියට අනුව වරදක්. ඒත් මේ වෙලාවේ වැදගත් වන්නේ ජීවිතේ. මේ වෛරසය ව්‍යාප්ත වීම පාලනය කර ගැනීමයි. එබැවින් ඒ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට අපි යන්නෙ නෑ. පුළුවන් තරම් ඉක්මනින් තමන් ගැන 119ට හෝ ළගම ඇති පොලිසියට දැනුම්දී නිරෝධායන කටයුත්තට සම්බන්ධ වෙන්න.” යැයි අජිත් රෝහණ මහතා කීය.

මේ රෝගය පාලනය කිරීමෙන් පසු ඉතාලිය ඇතුලු යුරෝපීය රටවලට නැවතත් මෙම පුද්ගලයන් ගමන් කිරීමේදී අනිවාර්යයෙන්ම නිරෝධායන සහතිකය පරික්ෂා කිරීමේ වැඩපිළිවෙළක් දියත් කරන බවත් එම සහතිකය නොමැති කිසිවකුටත් නැවත විදෙස්ගත වීමට ඇති අවස්ථාව අවහිර කිරීමට කටයුතු කරන බවත් ඔහු පැවැසීය.