නවතම පුවත්

පැය 79කට පසු නිව් ඩයමන්ඩ් නෞකාවේ මෙහෙයුම සාර්ථකයි

අසංක

අසංක

සංගමන්කන්දට නුදුරු මුහුදේදී ආපදාවට ලක්වූ MT New Diamond බොරතෙල් ප්‍රවාහන නෞකාවේ ගින්න ශ්‍රී ලංකා නාවික හමුදාව ප්‍රමුඛ අනෙකුත් කණ්ඩායම් කළ අඛණ්ඩ ගිනි නිවීමේ මෙහෙයුම් හමුවේ පැය 79කට පසු අද (6) සවස 3 වනවිට ගින්න සම්පූර්ණයෙන් පාලනය කර තිබේ.

මෙහිදී ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් අත්හදා බලන ලද Dry Chemical Powder (DCP) රසායනික මලු මගින් සාර්ථක ප්‍රථිපල අත් කරදීම මත නෞකාවේ ගිනිදැල් නිකුත්වීම ඇනහිට ඇත.

මෙම තත්වය යටතේ ඉන්දීය නාවික හමුදා සහ ආපදා විශේෂඥ කණ්ඩායම් නෞකාවට ගොඩ වී එහි අභ්‍යන්තරය අධි තාක්‍ෂණික උපකරණ යොදා ගනිමින් පරීක්‍ෂා කිරීමට නියමිතය.

මේ වන විට නෞකාවේ ඇති වූ ගින්න සම්පූර්ණයෙන් මැඩපවත්වා තිබුනද නෞකාවේ ඇතුලත පවතින උෂ්ණත්වය හා පාරිසරික බලපෑම් මත මෙම ගින්න නැවත ඇති වීමේ යම් සම්භාවිතාවක් පවතී.

එහෙයින්, ශ්‍රී ලංකා නාවික හමුදාව ඒ සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් පසුවෙමින් ඕනෑම හදිසි අවස්ථාවක් සඳහා සූදානමින් සිටී.

එමෙන්ම නෞකාවේ වාණිජ හා තාක්‍ෂණික ක්‍රියාකාරිත්වය හිමි සමාගම විසින් මුදවාගැනීමේ මෙහෙයුම් විශේෂඥයින්, ආපදා තක්සේරුකරුවන් හා නීතී උපදේශකයෙකු ද ඇතුළු 10 දෙනෙකුගෙන් යුත් බ්‍රිතාන්‍ය හා නෙදර්ලන්ත විශේෂඥයින් පිරිසක් අද ශ්‍රී ලංකාවට පැමිණියහ.

ඔවුන් ඉදිරියේදී එම නෞකාවට සිදු වී ඇති ආපදාව පිළිබඳව තක්සේරුවක් කිරීමට නියමිත අතර ඔවුන්ගේ නිර්දේශ මත නෞකාව සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි පියවර තීරණය කෙරෙනු ඇත.

MT New Diamond නමැති බොරතෙල් ප්‍රවාහන නෞකාව කුවෙට් රාජ්‍යයේ මීනා අල් අහමදි වරායේ සිට ඉන්දියාවේ පරදිප් වරාය වෙත බොරතෙල් මෙට්‍රික් ටොන් 270000 ක් ප්‍රවාහනය කරමින් තිබියදී පසුගිය 3 වැනිදා උදෑසන 8ට පමණ ශ්‍රී ලංකාවට නැගෙනහිර මුහුදේදී ගිනි ගැනීමක් ඇතිවී ආපදාවකට පත්විය.

ඒ වනවිට නෞකාව සංගමන්කන්ද තුඩුවේ සිට නාවික සැතපුම් 38 ක දුරකින් යාත්‍රාකරමින් තිබූ අතර, එම නෞකාවේ ප්‍රධාන යන්ත්‍ර කාමරයේ බොයිලේරුවක සිදු වූ පිපිරුමක් සමඟ මෙම ගින්න ඇතිව තිබුණි.

ජාත්‍යන්තර වශයෙන්ද විශේෂ අවධානයකට ලක් වූ මෙම ආපදා තත්වය ඉතා කෙටි කාලයක් තුලදී සාර්ථකව කළමණාකරනය කර ගැනීම තුළින් සිදු වීමට ඉඩ තිබූ අති විශාල සමුද්‍රීය පාරිසරික ව්‍යසනයක් වලක්වා ගැනීමට හැකි විය.

තවද, ඇති වූ හදිසි තත්වය මැඩපවත්වන ලද මෙම නෞකාව ශ්‍රී ලංකාවට අයත් සාගරික සෙවීම් හා මුදවාගැනීම් කළාපයෙන් ඉවත්ව යන තුරු ශ්‍රී ලංකා නාවික හමුදාව අවශ්‍ය සහයෝගය ලබා දීම ඉදිරියටත් සිදු කරනු ලබයි.

මේ අතර නිව් ඩයමන්ඩ් ඉන්ධන නෞකාව ගිනි ගැනීමේ සිද්ධියේ පසු විපරම සහ ඉදිරි නීතිමය ගැටලු සඳහා උපදෙස් දීමට නීතිපතිවරයාගේ මුලිකත්වයෙන් අද (06) සාකච්ඡාවක් පවත්වා තිබේ.

නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනි රජයේ අධිනීතීඥ නිශාරා ජයරත්න මෙනවිය පැවසුවේ ශ්‍රී ලංකා නාවික හමුදාපතිවරයා, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපතිවරයා, වෙළෙඳ නැව් අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ සමුද්‍ර පාරිසරික ආරක්ෂණ අධිකාරියේ සභාපතිනි මෙම සාකච්ඡාවට පැමිණ සිටි බවය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්