බදු වැඩිකිරීම හා අමතර අයකිරීම් අත්හිටුවන්නැයි ජනපති නියෝගයක්

Picture of අසංක

අසංක

වත්මන් බදු අනුපාත වැඩිකිරීම් හා අමතර අයකිරීම් අත්හිටුවන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා පළාත් සභා සහ පළාත් පාලන බලධාරීන් වෙත නියෝග කර ඇත.

සමස්ත පළාත් පාලන අනුපාත සහ ගෙවීම් ව්‍යුහය විමර්ශනය කර දින 30 ක් ඇතුළත එය සරල කරන ලෙස ද ඔහු විසින් උපදෙස් ලබා දී තිබේ.

රටේ සමස්ත බදු සහ බදු නොවන පද්ධති සරල කිරීමත්, ජනජීවි පහසු කිරීම, ගනුදෙනු පිරිවැය අඩු කිරීම, දූෂණ සහ අක‍්‍රමිකතා පිටු දැකීම මෙන්ම කුඩා ආයතනවල සිට මහා පරිමාණ සමාගම් දක්වා ව්‍යාපාර සදහා හිතකර පරිසරයක් නිර්මාණය කිරීම ඇතුළු අරමුණු ජය ගැනීම මෙමගින් අපේක්‍ෂා කෙරේ.

එමෙන්ම රටේ සමස්ත සංවර්ධන දැක්ම සහ ඊට පාදක වන උපාය මාර්ග අඩාල කරමින් පළාත් සභා සහ පළාත් පාලන ආයතන විවිධ බදු අනුපාත සහ අයකිරීම් පුළුල් කරන බව පෙනී ගොස් තිබෙන බවද දැනුම් දී ඇත.

පළාත් සභා සහ පළාත් පාලන ආයතන විසින් පනවා ඇති බහු අනුපාත බදු සහ ගෙවීම් වෙනුවට ජන ජීවිතය පහසු කිරීමට සරල, පාරදෘශ්‍ය හා දැරිය හැකි අයකිරිම් ව්‍යුහයක් හඳුන්වාදෙන ලෙසද ජනාධිපති රයා දැනුම්දී තිබේ.