බිලියන 4 තෙල් පිරිපහදු ව්‍යාපෘතියේ 70%ක කොටස් ඉන්දියාවේ දේශපාලකයකුට අයිති බවට හෙළිදරව්වක්

Picture of අසංක

අසංක

ප්‍රබෝධා හෙට්ටිආරච්චි

ශ්‍රී ලංකාවට මෙතෙක් ලැබෙන විශාලතම ඍජු විදේශ ආයෝජනයෙන් මෙරට තුළ ඉදිකිරීමට නියමිත බව කියන තෙල් පිරිපහදුවේ සියයට 70ක පමණ කොටස් අයත් වන්නේ හිටපු වෘත්තිය සමිති පිළිබඳ අමාත්‍යවරයකු වන ඉන්දියාවේ ඩීඑම්කේ පක්ෂයේ එස්. ජගත්රක්ෂාඛාන්ගේ පවුලට අයත් සමාගමකට බව ‘ද හින්දු’ පුවත් අනාවරණය කරයි.

එම සමාගම සිංගප්පූරුව පදනම් කරගත් සමාගමක් වන අතර එම ව්‍යාපෘතියට ඉන්දියාවේ සම්බන්ධයක් ඇතැයි නිල වශයෙන් හෙළිකිරීමක් නොතිබිණි.

ඩොලර් බිලියන 3.85ක් වන මෙම ව්‍යාපෘතිය ඕමානයට සියයට 30ක කොටස් හිමිවන ආකාරයෙන් සිංගප්පූරුව සමග ඒකාබද්ධව දියත් කරන බවට ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය විසින් නිල නිවේදනයක් කළ ද ඕමාන රජය එය ප්‍රතික්ෂේප කර තිබුණි.

ඒ මෙරට තෙල් පිරිපහදු ව්‍යාපෘතියකට කිසිදු අයුරකින් ආයෝජනයක් කරන බවට දැනුවත්වීමක් නැතැයි පවසමිනි.

කෙසේවෙතත් සෙසු හවුල්කරු වන සිංගප්පූරුව පදනම් කරගත් සිල්වර් පාර්ක් සමාගම ඉහත කී හිටපු අමාත්‍යවරයාට සම්බන්ධ එකක් බවත් එම සමාගම ව්‍යාපෘතියේ ඩොලර් මිලියන 1887ක් වන කොටස් සියයට 70ක හිමිකාරිත්වය දැරීමට නියමිත බවත් ද හින්දු පුවතේ සදහන් වෙයි.

සිංගප්පූරු සමාගමේ අධ්‍යක්ෂවරුන් සිව්දෙනාගෙන් තිදෙනකු වන්නේ ජෙගත් රාක්ෂගන් සන්දීප් ආනන්ද්, ජගත්රක්ෂාඛාන් ශ්‍රී නිෂා සහ ජගත්රක්ෂාඛාන් අනුසුයා නමැත්තන්ය.

ඔවුන් ලියාපදිංචි වී ඇත්තේ ඉන්දියාවේ චෙන්නායි ලිපිනයෙනි.

ජගත්රක්ෂාඛාන්ගේ බිරිඳ, දුව සහ පුතා මෙහි සිටින අතර ඔවුන් ඩීඑම්කේ අරකෝනාම් ලෝක් සභා අපේක්ෂකයන් වේ.

ද හින්දු පුවත පවසන පරිදි මෙරට රජයේ ඉහළ නිලධාරියෙක් එම පුවත් සේවයට තහවුරු කර ඇත්තේ ඉන්දියානු ව්‍යාපාරයක් සම්බන්ධ සිංගප්පූරු සමාගමක් බව ඔවුන් දන්නා බවත් ගිවිසුම අත්සන් තබන ලද්දේ ජගත්රක්ෂාඛාන් බවත් ය.