නවතම පුවත්

මරාගෙන මැරෙන බෝම්බකරුගේ තඹ කර්මාන්ත ශාලාවට බදියුදීන් අනුග්‍රහය ලබාදීලා !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

පාස්කු ඉරු දින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාරයට  සම්බන්ධ  බෝම්බකරුවෙකුට අයත් තඹ කර්මාන්ත සමාගමක් වෙත එවක කර්මාන්ත අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ වත්මන් පාලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බද්යුදීන් මහතා  විශේෂ අනුග්‍රහයක් සලසා දී තිබූ ආකාරයක්  පොලිස් පරීක්ෂණවලදී මේ වනවිට  අනාවරණය වී ඇතැයි නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කර ඇත

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව තමන්ව අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම නීති විරෝධී යැයි ප්‍රකාශ කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් සහ ඔහුගේ සොහොයුරු රියාජ් බදියුදීන් විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම අද (28) සලකා බැලූ අවස්ථාවේ දී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මාධව තෙන්නකෝන් මහතා එම දැනුම් දීම සිදුකර ඇත

එම පෙත්සම් සලකා බැලීම විජිත් මළල්ගොඩ, මුර්දු ප්‍රනාන්දු සහ ගාමිණි අමරසේකර යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ සිදුකෙරුණි.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ මරාගෙන මැරෙන බෝම්බ කරුවකු වන මොහොමඩ් ඉන්සාෆ් අහමඩ් නැමැත්තාට අයත් වැල්ලම්පිටියේ පිහිටි කොලෝසස් ප්‍රයිවට් ලිමිටඩ් නැමති තඹ නිෂ්පාදන සමාගම ස්ථාපිත කරන ලද්දේ 2017 වසරේ බවත් එම අවස්ථාවේදී පෙත්සම්කාර රිෂාඩ් බදියුදීන් මහතා කර්මාන්ත අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා මෙහිදී සිහිපත්  කර ඇත

කර්මාන්ත අමාත්‍යවරයා වශයෙන් රිෂාඩ් බදියුදීන් මහතා කටයුතු කරද්දී ඔහුගේ යටතේ තිබූ කාර්මික සංවර්ධන මණ්ඩලය මඟින් අබලි තඹ හා ලෝහ ද්‍රව්‍ය කර්මාන්තකරුවන් වෙත බෙදාහැරීමේදී ඉන් 86% කට වඩා අදාළ මරාගෙන මැරෙන බෝම්බකරුට අයත් කර්මාන්ත ශාලාව වෙත ලබාදී තිබූ බවද ඔහු පැවසුවේය.

අදාළ කර්මාන්තයේ නියුතු සුළු හා මධ්‍යම පරිමාණ කර්මාන්තකරුවන් 147 දෙනකු පමණ සිටිය දී එම මරාගෙන මැරෙන බෝම්බකරුට අයත් සමාගම වෙත අබලි ලෝහ හා තඹ තොගවලින් 86% කට වඩා ප්‍රදානය කර ඇත්තේ රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයාගේ අනුග්‍රහය ඇතිව බව පෙන්වා දුන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා, ඔහුගේ අනුග්‍රහය නොමැතිව මෙවැනි ක්‍රියාවක් සිදුවිය නොහැකි බවත් පෙන්වා දුන්නේය.

තව දුරටත් කරුණු දැක්වූ නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් මාධව තෙන්නකෝන් මහතා 2019 වසරේ මාර්තු මස 27 වනදා ජනාධිපති ලේකම් කාර්යාලයේ දී තඹ හා ලෝහ නිෂ්පාදන කරුවන් සමඟ පැවති සාකච්ඡාවකදී මෙට්‍රික් ටොන් 260ක තඹ නිෂ්පාදන අපනයනය කිරීම සඳහා නිෂ්පාදන සමාගම් තුනකට අවසර ලබාදෙන ලෙස ජනාධිපති ලේකම්වරයා නියෝග කර තිබූ බව පැවසුවේය.

එසේ තිබිය දී එවක කර්මාන්ත අමාත්‍යවරයා ව සිටි රිෂාඩ් බදියුදීන් සහ ඔහුගේ සම්බන්ධීකරණ ලේකම් වරයෙකු වශයෙන් කටයුතු කළ රියාජ් බදියුදීන්ගේ බලපෑම හේතුවෙන් එම මෙට්‍රික් ටොන් 260ක මුළු තම නිෂ්පාදන ප්‍රමාණයම අපනයන කිරීමේ අවස්ථාව ඉන්සාෆ් අහමඩ් නැමැති මරාගෙන මැරෙන බෝම්බකරුට අයත් කොලෝසස් සමාගමට ලබා දී තිබූ බවද නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා සඳහන් කළේය.

ජනාධිපති ලේකම්වරයා විසින් නිකුත් කළ නියෝගයක් පවා ඉවත දමමින් මෙට්‍රික් ටොන් 260ක තඹ තොගය අපනයනය කිරීමේ අවස්ථාව අදාළ මරාගෙන මැරෙන බෝම්බකරුට අයත් සමාගමට ලබාදීමට එවක කර්මාන්ත අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරයා වශයෙන් කටයුතු කළ, ශන්මුගපිල්ලේ බාලසුබ්‍රමනියම් ක්‍රියාකර ඇත්තේ එවක කර්මාන්ත අමාත්‍යවරයාව සිටි රිෂාඩ් බදියුදීන්ගේ බලපෑම නිසා බවත් ඔහුගේ බලපෑමක් නොමැතිව කර්මාන්ත අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරයාට මෙවැනි ක්‍රියාවක් සිදුකළ නොහැකි බවත් නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරයා පෙන්වා දුන්නේය.

ඒ අනුව ත්‍රස්තවාදීන්ට මුදල් ඉපැයීම සඳහා ආධාර අනුබල දීමේ චෝදනාව මත ෂන්මුගපිල්ලේ බාලසුබ්‍රමනියම් නැමැත්තා පාස්කු ප්‍රහාරයට සම්බන්ධ නඩුවේ සැකකරුවකු වශයෙන් නම් කර අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ අවස්ථාවේ ඔහු විදේශගත වී ඇති බවට කරුණු අනාවරණය වූ බවත් ඒ අනුව ඔහු යළි දිවයිනට පැමිණියහොත් වහා අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණය මඟින් සියලුම ගුවන් තොටුපොළවල් වෙත නියෝගයක් ලබා ගෙන තිබෙන බවත් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් මාධව තෙන්නකෝන් මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

වැඩිදුර පෙත්සම් සලකා බැලීම අගෝස්තු මස 25 වන දා තෙක් කල් තැබුණි.

 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්