මාස 2කට පසු කොරෝනා මතුවූ හැටි ගැන පුළුල් විමර්ශනයකට ජනපති උපදෙස්

Picture of අසංක

අසංක

මාස දෙකකට පසු කොවිඩ් ආසාදිතයින් සමාජයෙන් හමුවීමට පාදක වූ කරුණු පුළුල් විමර්ශණයකට ලක් කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

කොවිඩ් මර්දනයට අනුගමනය කළයුතු ක්‍රියාමාර්ග ලෙස හඳුනාගත් බොහෝ දේ ජනතාව නිසි ලෙස පිළි නොපදින බැවින් පවතින නීති රීති කොවිඩ් මර්දනය ඉලක්ක කර ගනිමින් ගැසට් කිරිමේ අවශ්‍යතාව ද අවධාරණය කර ඇත.

ඒ කොවිඩ් මර්දන ජනාධිපති කාර්ය සාධක බලකාය සමග ඊයේ (05) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ය.

එම සාකච්ඡාවෙන් අනතුරුව ජනාධිපතිවරයා විසින් එහිදී ගත් පියවර සම්බන්ධයෙන් පහත නිවේදනය කර තිබුණි.

“හඳුනාගත් කොවිඩ් අසාදිතයන්ගේ සමීපතමයන් හඳුනාගෙන රෝගය පැතිරයාම වැළැක්වීමටත් රෝගීන් හඳුනා ගැනීමේ PCR පරීක්ෂණ සංඛ්‍යාව වැඩිකිරීමටත් කඩිනම් පියවර ගන්නා ලෙස අදාල බලධාරීන් හට උපදෙස් දුනිමි. අසාදිතයන් ළඟින් ඇසුරු කළ පිරිස දැන් හඳුනාගෙන තිබේ. ඔවුන් නිවෙස්වල සිට ස්වයං නිරෝධායනයට යොමුකර ඇත. එම පිරිස ආසන්නතම ප්‍රදේශවල හෝටල්වල නිරෝධායනයට පියවර ගනු ඇත.

කොවිඩ් මර්දනයට රජය දී තිබූ උපදෙස් පිළිපැදීම කාලයත් සමග ජනතාවගෙන් ගිලිහීයාම රෝගය ආසාදනයට මූලිකම හේතුව බව වෛද්‍යවරු පෙන්වා දුන්හ.

කොවිඩ් වසංගතය ලෝකයේ සෙසු රටවල් වේගයෙන් ආක්‍රමණය කරමින් සිටී. ඒ පිළිබඳව වාර්තා කළද ජනතාව දැනුවත් කිරීමට රට තුළ ගෙන ගිය ප්‍රචාරණ වැඩපිළිවෙළ මාධ්‍ය වෙතින් මගහැරී ගොස් ඇත.

ජන ජීවිතය සාමාන්‍යකරණය වීමත් සමඟම කොවිඩ් වසංගතය පවතින බව ජනතාවට ද අමතක වී ගියේය.

දිවයිනේ සියලු දිස්ත්‍රික්කවල මෙන්ම ආයතනවලද අහඹු ලෙස PCR පරීක්ෂණ සිදු කිරීමට උපදෙස් දී තිබේ. විශේෂයෙන්ම කණ්ඩායම් වශයෙන් විශාල පිරිසක් සේවය කරන ආයතනවල PCR පරීක්ෂණ අහඹු ලෙස විටින් විට සිදුකරන ලෙස නියම කර තිබිණ.

එහෙත් කර්මාන්තශාලා වෙතින් එය නිසි ලෙස සිදු වී නොමැති බව පෙනි යයි.

පවතින තත්ත්වය අවබෝධ කරගෙන යළි එය මර්දනයට සහයවීමට මාධ්‍යට සහ ජනතාවට විශාල වගකීමක් ඇත.

මාස දෙකකට පසු කොවිඩ් ආසාදිතයින් සමාජයෙන් හමුවීමට පාදක වූ කරුණු පුළුල් විමර්ශණයකට ලක් කළ යුතු වේ.

පොලීසිය සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කළ විශාල කාර්ය භාරය නැවත ප්‍රදේශ මට්ටමින් ක්‍රියාත්මක කිරිම ඉතා වැදගත් වේ.

රෝගීන් හඳුනාගත් ප්‍රදේශවලින් ජනතාව බැහැර යාම වැළැක්වීමට දැනටමත් පියවර ගෙන තිබේ. ප්‍රදේශයේ සෙසු කර්මාන්ත ශාලා සහ ආයතන අහඹු ලෙස පරීක්ෂාවට ලක් කෙරේ.

පෞද්ගලික අංශයේ දායකත්වය ඇතිව ආයතන සේවකයන් අහඹු ලෙස පරීක්ෂාවට යොමු කිරීමේ අවශ්‍යතාව ද මෙහිදී අවධාරණය කෙරිණි.

කොවිඩ් මර්දනයට අනුගමනය කළයුතු ක්‍රියාමාර්ග ලෙස හඳුනාගත් බොහෝ දේ ජනතාව නිසි ලෙස පිළි නොපදින බව පොලිසිය සඳහන් කළේය. පවතින නීති රීති කොවිඩ් මර්දනය ඉලක්ක කර ගනිමින් ගැසට් කිරිමේ අවශ්‍යතාව ද සාකච්ඡාවට ලක් කෙරිණ. ජනතාව දැනුවත් කිරීම මාධ්‍ය මගින් අඛණ්ඩව සිදු කරන ලෙස ද උපදෙස් දෙන ලදී.”

ප්‍රතිශක්තීකරණය වර්ධනයට සහ රෝගය වැළඳුණු පිරිස ඉක්මනින් සුවපත් කිරීමට දේශීය ඖෂධවලට ඇති හැකියාව සාකච්ඡාවට ලක් විය.

ඇමතිණි පවිත්‍රා වන්නිආරච්චි, රාජ්‍ය අමාත්‍යවරුන් වන සිසිර ජයකොඩි, මහාචාර්ය චන්න ජයසුමන, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග යන මහත්ම මහත්මීහු සහ කොවිඩි මර්දන ජනාධිපති කාර්ය සාධක බලකායේ සාමාජිකයෝ සාකච්ඡාවට එක්ව සිටියහ