නවතම පුවත්

මිනිස් බෝම්බ වික්ෂිප්ත කළ සායින්තමරුතු ආරක්ෂක මෙහෙයුම

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ආරක්ෂක තොරතුරු වාර්තාකරු රමේෂ් වරල්ලෙගම විසිනි.

සාමයේ ගීතිකාව වැයෙන්නට යන්තමින් වසර දහයකට ආසන්න වෙමින් තිබිණි. ත්‍රස්තවාදය මුලිනුපුටා දැමු රට තුළ කාත්තන්කුඩිය නගරටය වී  සහරාන් හසීම් 2011 වසරේ පටන් වපුරමින් සිටියේ අන්තවාදයයි. වහාබ් දර්ශනය පිලිනොගන්නාවිට ඔවුන් අවි අතට ගනිමින් අනෙකුත් මුස්ලිම් මතවාද මර්දනය කිරීමට මුල පුරන්නේ 2017 වසරේදීය.

එම වසරේම මාර්තු 10 වැනිදා කාත්තන්කුඩියේ ඇතිවු එවැනි අවි ගැටුමක් දුරදිග ගොස් ජාතික තව්හිද් ජමාත් සාමාජිකයන් 9 දෙනෙකු සහ බද්රියා පල්ලියේ දෙදෙනෙකු පොලිස් අත්අඩංගුවට පත්වුහ.

එසේ අත්අඩංගුවට ගත් පිරිස අතරේ සහරාන්ගේ සොහොයුරාදා සිටියේය. ඔවුන් මාස 7කින් නිදහස ලබා නැවත සමාජගත වුයේය. සහරාන් කාත්තන්කුඩියෙන් ඔබ්බට වු ගමනක් කල්පනා කළේ එතැන් පටන්ය. ඔහු පොලිසියට කට්ටි පනිමින් අන්තවාදයේ පරතෙරට යාමට පටන් ගත්තේය.

දක්ෂ දේශකයකුවු සහරාන් හෂීම් ඔහුගේ අන්තවාදයේ උපරිම ඵල නෙලා ගැනීමට එම හැකියාව යොදා ගත්තේය. 2019 අප්‍රේල් 21 වැනිදා උදෑසන ලොවම සලික කරමින් මරාගෙන මැරෙන පාස්කු ඉරිදා ප්‍රහාර මාලාවට නායකත්වය දෙන්නේ සහරාම් හසීම්ය.

ජීවිත 253 බිලිගත් තවත් හයසියකට අධික සංඛ්‍යාවක් තුවාල ලැබු ඒ මුසල ඉරිදාවේ අයිතිය ප්‍රමාද වී හෝ වසර පහකට පසුව එළිබැසගත් අයි.එස්.අයි.එස් ත්‍රස්ත නායක අබු බකර් අල් බැග්ඩාඩි විසින් භාරගත්තේය.

බොහේ දෙනෙකුට එය පෙනෙන්නට වුයේ උප්පැන්නයක් නොමැති දරුවකුට ප්‍රමාද වී උප්පැන්නයක් දුන්නා මෙන්ය. නැතිනම් සහරාම් හසීම්ගේ ඉලක්ක ගැන අබු බකර්වත් නොදැන සිටියා වාගේය. නමුත් සහරාම් හසීම්ගේ මේ ඉලක්කගතවීම මෙරට තව්හිද්  ජමාත් හෝ මුස්ලිම් අන්තවාදීයෝ නිසැකවම හොදින් දැන සිටියහ.

මෙරට බුද්ධි තොරතුරු අනුව නම් නොදැන සිටි පිරිසට වඩා දැන සිටි පිරිස අඩුය. මෙවැනි බලගතු ප්‍රහාරයක් පිළිබදව ඉන්දීය රෝ ඔත්තු සේවය මෙරටට කල්තබා දැනුම් දෙන්නේද (අප්‍රේල්-9) ඒ නිසාය. ඔවුන් වතාවක් නොව කිහිප වතාවක්ම දැනුම් දුන්නේය. නැගෙනහිර පිළිබදව රෝ ඔත්තු සේවය කොතරම් අවදියෙන් පසුවනවාදැයි යන්න ඊට වඩා උදාහරණ අවශ්‍යය නැත.

නමුත් කිසිවෙකුත් මෙම ප්‍රහාරය විශ්වාස නොකළේය. වසර දහයකට පසු පැමිණෙන මෙවැනි අනතුරකට ක්‍රියාත්මක විය යුත්තේ කෙසේද යන්න පවා ආරක්ෂක අංශ ප්‍රධානීන්ට හෝ රටේ මුල් පුරවැසියන්ට අවබෝධයක් තිබුණේ නැත.

ජනාධිපති ආරක්ෂක මණ්ඩලය නිරන්තරයෙන් රැස් නොකිරීමත් අගමැතිවරයාට ඒ සදහා ඇරයුම් නොකිරීමත් එළියට පැන්නේ 4-21 වැනිදා එල්ල වු මරාගෙන මැරෙන ප්‍රහාර මාලාව නිසාය. අගමැතිවරයාද එය රටට හෙළි කරන්නට ප්‍රහාරයක් එල්ල වනතුරුම සිටියේය. ආරක්ෂාවට තිබු තැන එතැනින් මතු කතා කිරීමෙන් ඵලක් නැත.

පාස්කු ඉරිදා ප්‍රහාර මාලාව සහරාම් හසීම්ලා එල්ල කරනුයේ මෙවන් වටපිටාවක සිටය. ජීවිත 253 අහිමි කරමින් තවත් හයසියකට අධික පිරිසක් තුවාල කරමින් මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ල කළ ආකාරය මේ වනවිට මාධ්‍යයේ නොයෙක් වර ප්‍රසිද්ධ වී හමාරය.

මෙම ප්‍රහාරය එල්ල වීමත් සමග මෙරට ආරක්ෂක අංශ කඩිගුලක් ඇවිස්සුනාමෙන් වුයේය. ඔවුන් එතෙක් නම් ගම් පිටින් තිබු අන්තවාදී ප්‍රහාර සැකකරුවන්ගේ තොරතුරු ලුහුබදින්නට වුයේය.

නමුත් සහරාම් හසීම්ලා ප්‍රහාර සැලසුම ක්‍රියාත්මක කරන තුරුම කළබලවුයේ නැත. ප්‍රහාරයෙන් පසුව තම සමීප අන්තවාදීන් හා දෙවැනි, තෙවැනි ප්‍රහාර ලෙස සැලසුම් කරන මරාගෙන මැරෙන ප්‍රහාර පිළිබදව ඔවුහු කල් තබා සැලසුම් සකස් කළහ.

දෙවැනි ප්‍රහාරයක් පිළිබදව ඉන්දීය රෝ බුද්ධි සේවය ලංකාවේ රජ්‍ය බුද්ධි සේවය දැනුවත් කරන්නේ මේ නිසාය. ප්‍රහාරයට පෙර මරාගෙන මැරෙන කණ්ඩායමේ දෙවැනි ප්‍රහාර සැලසුමේ සිටින කණ්ඩායම හා ඔවුන්ගේ පවුල්වල ඥාතින් මීගමුවේ එතෙක් නවාතැන් ගත් ස්ථානයෙන් පිටත්ව පුපුරණ ද්‍රව්‍ය සහ අනෙකුත් අවි ආයුධ උපකරණ රැගෙන සමන්තුරෙයි දක්වා පැමිණ තිබුණේ ප්‍රහාරයට දින දෙකකට පෙරය.

ඒ වනවිටත් සහරාම් හසීම් ඇතුළු ත්‍රස්ත කල්ලිය මෙම ත්‍රස්ත කටයුතු පවත්වාගෙන යාම සදහා ෆවුස් මාවත, සෙන්ට්‍රල් ග්‍රාමම් සමන්තුරෙයි නිවස, අංක 48 දෙවැනි පටුමග නින්දවුර් නිවස සහ අංක 09 බොලිවේරියන් විලේජ්, සායින්තමරුතු නිවස කුලී පදනම මත ලබාගෙන තිබිණි.  ඒ සෑම නිවසක්ම ලබාගෙන තිබුණේ රුපියල් 50000කට හෝ ඊට වැඩි කුලී මුදලකටය.

අදාල ආරක්ෂිත කුලී නිවස්න තෝරා ගැනීමේදී ත්‍රස්තවාදීන් තවත් සැලකිල්ලකට ලක්කර තිබුණේ ඒ අතර ඇති දුර ප්‍රමාණයයි. සමන්තුරෙයි, සායින්තමරුතු හා නින්දවුර් එකිනෙකට සමාන දුරින් පිහිටයි. කිලෝමීටර් අටක් පමණ ගෙවා දැමීමෙන් මිනිත්තු 13 හෝ 14ක කාලයක් තුළ ඒ සෑම තැනකටම ළගාවීමේ හැකියාව තිබිණි. එසේම ඒ තෝරාගැනීමේ ස්ථාන  සිතියමක ලකුණු කළවිට ත්‍රිකෝණාකාර හැඩයකි.

මේ අතරවාරයේ සිදුවු අනෙක් විශේෂත්වය වුයේ වනාතවිල්ලුවේ තව්හිද්  ජමාත් ත්‍රස්ත පුහුණු කදවුරේ සිට නැවත සමන්තුරෙ දක්වා  ප්‍රවාහනය කළ බවට සැකකරන පුපුරණ ද්‍රව්‍ය ගෙනගිය ලොරි රථයේ රියදුරුවරයා පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමයි. මෙම අත්අඩංගුවට ගැනීම සදහා තොරතුරු ලබා දී තිබුණේ මෙම ත්‍රස්ත කල්ලියටම සම්බන්ධවී ඉන් කැඩී ගිය ත්‍රස්ත සැකකරුවෙකි.

රියදුරුගේ අදාල තොරතුරු ඔස්සේ සමන්තුරේ දක්වා පුපුරණ ද්‍රව්‍ය ගෙන ගොස් ගොඩ බෑ ස්ථානය පිළිබදව පොලිසියට ඉව වැටිනි. මම හිතුවෙ ඒවා තීන්ත බැරල් කියලා අදාල රියදුරා පොලිස් ප්‍රශ්න කිරීම්වලදී පවසා තිබිණි.

පාස්කු ඉරිදා ප්‍රහාරයේ උණුසුමෙන් රටම තැතිගත් හෙයින් පොලිස් ඇදිරි නීතිය පැනවීම වැනි ආරක්ෂක ක්‍රියාදාමයන් නිසා අම්පාර ඇතුළු නැගෙනහිර ප්‍රදේශයන්ට එම උණුසුම දැනෙන්නට පටන්ගෙන තිබිණි. එතෙක් මෙම මෙහෙයුමේ බොහෝ කටයුතු ඉටුවුයේ පොලිසියේ සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ මැදිහත්වීමෙනි.

26 වැනි සිකුරාදා සවස 4ට පමණ අම්පාර 24 සේනාංකාධිපති මේජර් ජෙනරාල් මහින්ද මුදලිගේ ට ද ඇමැතුමක් ලැබිණි. ඒ අම්පාර ප්‍රදේශය භාර පොලිස් අධිකාරි සාමන්ත විජේසේකරගෙනි.

සමන්තුරේ සැකකටයුතු නිවෙස පිළිබදව ලද හෝඩුවාව සහ එය පරික්ෂා කිරීමට යාම පිළිබදව පොලිස් අධිකාරිවරයා යුද හමුදාව දැනුවත් කළේය. අදාල පරික්ෂා කිරීම් සදහා 24 සේනාංකයේ මැදිහත්වීම සිදුවුයේ ඒ අනුවය.

යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක දැනුවත් කරමින් මේජර් ජෙනරාල් මහින්ද මුදලිගේ අදාල සෝදිසි කිරීම් සදහා හමුදා කණ්ඩ ස්ථානගත කළේය. 241 වැනි බලසේනාධිපති කර්නල් විපුල චන්ද්‍රසිරි යටතේ පවතින 3 වැනි විජයබා පාබල රෙජිමේන්තුවට එහි වගකීම් පැවැරෙන්නේ ඒ අනුවය.

සමන්තුරෙ පිහිටි අදාල සැකකටයුතු නිවස පරික්ෂා කිරීමට මුලින්ම 3 වැනි විජයබා පාබල රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි මේජර් දහම් ධර්මසේන ඇතුළු සෙබළ කණ්ඩායම, පොලිස් විශේෂ කාර්ය බළකාය (එස්.ටී.එෆ්) සහ බුද්ධි අංශ මෙන්ම සමන්තුරේ පොලිසිය ඒකාබද්ධව මැදිහත්වුහ. අදාල නිවස වටලා සෝදිසි මෙහෙයුම ක්‍රියාත්මක කෙරිණි.

නිවසේ හිමකරුගේ දියණියගේ ප්‍රේමවන්තයකුට ලබාගන්නා ලෙස මෙම නිවස කුලියට ගැනීමට ත්‍රස්තවාදීන් සමත්වී තිබිණි. තට්ටු නිවාසයක දකුණුපසින් වු ගරාජ කොටස සම්පුර්ණයෙන්ම වනාතවිල්ලුව හෝ වෙනත් ස්ථානවලින් ගෙනා පුපුරණ ද්‍රව්‍ය බැරල්වලින් පිරී ගොස් ඇති අයුරු එහි ඇතුළුවු සෙබළුන්ට දැකගත හැකිවිය. ‌ජෙලග්නයිට් කූරු, බෝම්බ කට්ටලවලට යොදන පරිපථ, ස්විච, රැසක් සමග වැදගත් හෝඩුවාවන් රැසක් හෙළිවුයේ මෙම නිවස තුළිනි.

මරාගෙන මැරෙන ප්‍රහාරයෙන් පසු අයි.එස්.අයි.එස් සංවිධානයට සම්බන්ධ සමාජ ජාලා ඔස්සේ කරළියට ආ සහරාම් හසීම් ඇතුළු ප්‍රහාරයට සම්බන්ධ මරාගෙන මැරෙන සාමාජිකයන්ගේ වීඩියෝව පටිගත කර තිබුණේ මෙම ස්ථානයේය.

ඊට යොදා ගත් දර්ශන තලය, අයි.එස්.අයි.එස් කොඩිය, අදාල අවස්ථාවේ මිනිස් බොම්බකරුවන් ඇදසිටි ඇදුම් ආයිත්තම් රැසක් මෙම ස්ථානයේ තිබී හමුවිය.  මේජර් ජෙනරාල් මහින්ද මුදලිගේ, පොලිස් විශේෂ කාර්ය බළකායේ පොලිස් අධිකාරි අතුල රත්නායක, පොලිස් අධිකාරි සාමන්ත විජේසේකර ඇතුළු නිලධාරින්ද වහාම අදාල ස්ථාන කරා ළගාවී සෝදිසි මෙහෙයුම මෙහෙයවුහ.

බැලු බැල්මටම දෙවැනි ප්‍රහාරයක් නොව තවත් ප්‍රහාර වැලකට අවශ්‍ය තරම් පුපුරණ ද්‍රව්‍ය ඔනෑවටත් වඩා මෙම ස්ථානයේ තිබිණි. එම ස්ථානයෙන් තවත් අභිරහසක් එළියට පැන්නේය.

ඒ 2018 නොවැම්බර් 30 වැනිදා මඩකළපුව වවුනතිව් පොලිස් මුරපොලට ප්‍රහාර එල්ල කොට ඝාතනය කළ ගාල්ල උඩුගම නිරෝෂන් ඉන්දික (82162) සහ කල්මුනේ පෙරියනිලාවනේ පදිංචිව සිටි ගනේෂ් දිනේෂ් (8624)  පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනාගේ ඝාතන සැකකරුවන් කවුද යන්නයි.

ඊට සාක්ෂි සපයන ටී.56 ගිනි අවිය ත්‍රස්තවාදීන්ගේ‌ මෙම ආරක්ෂිත නිවස්නයේ තිබිණි.  නමුත් මෙම අවිය හමුවන තුරු අදාල ඝාතයන බැරවී තිබුණේ හිටපු කොටි සාමාජිකයන්ටය. ඒ වෙනුවෙන් සැකපිට අත්අඩංගුවට ගෙන තිබුණේද හිටපු කොටි සාමාජිකයන්ය.

ඝාතන කරන විට එල්.ටී.ටී.ඊ ය  මනුස්සයෙක් මරලා අයෙ වද දීමේ ක්‍රමයක් අනුගමනය කරන්නෙ නැහැ. ඇස් උගුල්ලා කපා කොටා වෙඩිතබා තිබු පොලිස් ඝාතනය මුස්ලිම් අන්තවාදීන්ගේ වැඩක් වෙන්න පුළුවන් යැයි රාජ්‍ය බුද්ධි සේවයට තොරතුරු ලබා දුන් හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයෙක් එකල කෙළින්ම  පවසා තිබුණි. නමුත් සැකය හිටපු කොටි පිට පටවා සහරාන්ලා ඔවුන්ගේ මිනීමැරීමේ ආත්ම ශක්තිය ඒ තුළින් රහසිගතවම අවධිකරගත්හ.

මේ වනවිට 24 සේනාංකය යටතේ සිටින භට පිරිස් ස්ථානගත කිරීමට මේජර් ජෙනරාල් මහින්ද මුදලිගේ කටයුතු කළේය. 24 සේනාංකයේ කර්නල් මාණ්ඩලික නිලධාරි ලුතිතන් කර්නල් තුසිත කරුණාරත්න, මාණ්ඩලික නිලධාරින්වන ලුතිතන් කර්නල් ඉන්දික ජයවීර සහ ලුතිතන් කර්නල් කෙවින් පෙරේරා ඊට පෙරමුණ ගෙන ක්‍රියා කළහ.

ලුතිතන් කර්නල් ඉන්දික ජයවීර කොමාන්ඩො රෙජිමේන්තුව නියෝජනය කිරීමත්, ලුතිතන් කර්නල් කෙවින් පෙරේරා විශේෂ බළකාය (එස්.එෆ්) නියෝජනය කිරීමත් නිසා මෙම මෙහෙයුම සදහා විශේෂ බළකා සහ කොමාන්ඩො සෙබළුන්ගේ සම්බන්ධීකරණයන් ඉතා පහසුවිය.

 නැගෙනහිර ආඥාපති අරුණ ජයසේකර අදාල විශේෂ හමුදා ඒකක මෙම මෙහෙයුමට සම්බන්ධ කිරීමට අවශ්‍ය උපදෙස් දුන්නේය. ඒ අනුව තුන්වැනි විශේෂ බළකායේ අණදෙන නිලධාරි මේජර් විපුල බණ්ඩාරත්, පළමුවැනි කොමාන්ඩො බළකායේ මේජර් ගිවන්ත අධිකාරි ඇතුළු කණ්ඩායමක් සහ යුද හමුදා පුහුණු පාසලේ 6 වැනි සිංහ රෙජිමේන්තුවේ දෙවැනි අණදෙන නිලධාරි කපිතාන් ධම්මික ජයතිලක මෙම සෝදිසි මෙහෙයුමට සම්බන්ධවීමට භට පිරිස් සමග පිටත්වුහ.

ඒ වනිවිට සෝදිසි මෙහෙයුමට එක්ව සිටි 3 වැනි විජයබා පාබල රෙජිමේන්තුවේ දෙවැනි අණදෙන නිලධාරි මේජර් රජිත සුදුසිංහ තම සෙබළු හය දෙනෙකු සමග එක්ව සිටියේ දෙවැනි සැකකටයුතු නිවස පරික්ෂා කිරීම සදහා පොලිසියට සහය වෙමිනි.

සමන්තුරෙ පරික්ෂාකිරීම් අතරවාරයේ ලද තොරතුරු අනුව සැකකටයුතු ත්‍රස්තවාදීන් ඔබ මොබ ගිය බවට සැකකරන වාහනයක් පිළිබදව තොරතුරු ලැබුණු පොලිසිය ඒ අදාල තොරතුරු වහාම යුද හමුදාව සමග බෙදා ගත්තේය. ඒ අනුව කල්මුනේ පොලිසියේ මුලස්ථාන පොලිස් පරීක්ෂක ජයනෙත්ති සහ මේජර් රජිත සුදුසිංහ ඇතුළු භට කණ්ඩායම නින්දවුර් දෙවැනි පටුමගේ නිවස සහ සැකකටයුතු වාහනය තිබෙන ස්ථානයේ සෝදිසි මෙහෙයුම ක්‍රියාත්මක කළහ.

ත්‍රස්තවාදීන් ගමන්ගත් වෑන් රථය සොයාගත් ආරක්ෂක අංශ සාමාජිකයෝ දෙවැනුව ත්‍රස්තවාදීන් රැදී සිටි නිවස පරික්ෂාවට ලක්කළහ. අදාල නිවස ත්‍රස්ත්‍රවාදීන් විසින් යොදාගෙන තිබුණේ ඔවුන්ගේ පරිපාලන මුලස්ථානය ලෙසය. තවුහිද් ජමාත් සංවිධානයට අයත් පරිගණ, ආහාරපාන වර්ග, ලිපි ලේඛන, සීඩී, පෙන්ඩ්‍රයිව් ඇතුළු උපකරණ රැසක් එහිවිය. අනෙක් අතට එහි විශේෂත්වය වුයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකට සුදානම් කරන බෑග් දෙකක්ද එහි තිබි සොයාගැනීමයි. මුදල් සී සී කඩය. රුපියල් කෝටි ගණනක මිලියන 5 මුදල් බන්ඩල තොගයක් මෙම ස්ථාන වලින් සොයාගැනිනි.

මෙම සෝදිසි මෙහෙයුම අතරවාරයේ මුලස්ථාන පොල්ස් පරීක්ෂක ජයනෙත්තිට රථවාහන අංශයේ උප පොලිස් පරික්ෂවරයෙකුගෙන් ඇමැතුමක් ආවේය. ඒ විශේෂ තත්ත්වයක් ගැනය.

මුස්ලිම් වැසියෙක් සායින්තමරුතු පැත්තේ ගිය අපේ කොස්තාපල් කෙනෙක්ට කියලා තියෙනවා සායින්තමරුතු සැකකටයුතු නිවසක් අසලින් වෙඩි හඩක් ඇසුනාය කියලා. අදාල උප පොලිස් පරික්ෂකවරයාගෙන් එම ස්ථානය පිළිබද සැක හැර දැනගත් ප්‍රධාන පොලිස් පරික්ෂක ජයනෙත්ති ඔහු සමීපයේ සිටි මේජර් සුදුසිංහට ඒ බව කීවේය.

යුද හමුදා කැබ්රථය විදුලි වේගයෙන් සායින්තමරුතු බොලුවේරියන් සුනාමි ගම්මානය බලා පැමිණියේ ප්‍ර.පොලිස් පරික්ෂක ජයනෙත්තිද අදාල කැබ් රථයටම දමා ගනිමිනි. මේජර් සුදුසිංහ සහ සෙබළු කණ්ඩායමක් එහි වුහ. මේ ගමන අතරවාරයේ 24 සේනාංකාධිපති මේජර් ජෙනරාල් මහින්ද මුදලිගේ දක්වාම අදාල උසස් නිලධාරින් දැනුවත් කිරීමට මේජර් සුදුසිංහ කටයුතු කර තිබුණේය.

අදාල කාලය ත්‍රස්තවාදීන් ප්‍රයෝජනයට ගෙන තිබුණේ තවත් වීඩියෝවක් නිෂ්පාදනය කිරීම සදහාය. දැන් නැතිවට දැන් වටලා පහරදෙනු ඇතැයි විශ්වාස කළ ත්‍රස්තවාදියො සිය දරු මල්ලන්ද සමග එකට එක්ව තවත් වීඩියෝවක් පටිගත කළහ.

පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධවු සිය සගයන්ගේ බිරින්දෑවරුන්ද මෙම ස්ථානයේ සිටි බව පවසමින් බෝම්බ බඩ බැදගෙන සමාජ මාධ්‍යට මුදා හැර තිබු අදාල වීඩියෝ තුනේ බෝම්බ නිෂ්පානය සදහා දායක වු මහ මොළකරු බව සැකකරන කුරුණෑගල දිස්ත්‍රික්කයේ රන් ආභරණ අලෙවි සැලක හිමිකරු (බෝම්බ නිෂ්පාදනයේදී ඇගිලි කැඩීගොස් ඇතිබවට සැකකරන) ත්‍රස්තවාදියා, සහරාන් හසීම්ගේ පියා සහ සහෝදරයාද වුහ.

යුද හමුදා සෙබළුන් එහි ළගාවත්ම නිවසේ සැගවී සිටි ත්‍රස්තවාදීයෝ සෙබළු දෙසට වෙඩි ප්‍රහාර දෙකක් එල්ල කළහ. නිවස දෙසින් විශාල පිපිරුමක් සිදුවුයේ ඊට සමගාමීවය. මේ සමගම ක්‍රියාත්මක වු හමුදාව අසල රැස් කමින් සිටි ජනතාව වහා ඉවත් කරමින් ත්‍රස්ත ප්‍රහාරයට ප්‍රතිප්‍රහාර එල්ල කිරීම ආරම්භ කළහ. ඒවනවිට රාත්‍රි 7.30ට  පමණ ඇත. ඇදිරි වැටීම නිසා ත්‍රස්තවාදීන් පහර දෙන්නෙ කොහි සිටද යන්න ගැන පවා නිශ්චය කර ගැනීම අපහසු වී තිබිණි. හමුදාව පිපිරීම් සිදුවන නිවස දෙසට මීටර් හැත්තෑපහක් පමණ ළංවිය. ඒ සමගම දෙවැනි පිපිරුමද සිදුවිය.

පළාතම බෝම්බ හඩින් ගිගුං දුන්නේය. හමුදාව ප්‍රති ප්‍රහාර එල්ල කරමින් ඉදිරියට මෙහෙයුම ක්‍රියාත්ම කළා පමණි. වෙඩි හඩ මැදින් තෙවැනි පිපිරීමත් සිදුවිය.  මේ වනවිට 24 සේනාංකයේ අතිරේක සෙබළ කණ්ඩායම්  අදාල ස්ථානයට ළාගාවෙමින් සිටියහ.

ප්‍රහාරයට ප්‍රති ප්‍රහාර එල්ල කළ සුදුසිංහ ඇතුළු කණ්ඩායම  මුලින්ම ඉලක්කගත කළේ නිවසින් ඉදිරියට පැමිණ වෙඩිතබමින් සිටි ත්‍රස්තවාදියාය. කළුවරේ වුවද  පළමුව අදාල ත්‍රස්තවාදියාගේ කකුළක් ඉලක්ක කර ගැනීමට යුද හමුදා සෙබළු සමත්වුහ. නමුත් වෙඩි ප්‍රහාරය නොනැවතී පැවැතිනි. ත්‍රස්තවාදීන් තුන් දෙනෙක් හමුදාව ඉලක්ක කරගෙන ප්‍රහාර එල්ල කළහ.

ඔවුන් ලේසර් උණ්ඩ යොදාගෙන මෙම ප්‍රහාර එල්ල කිරීම විශේෂත්වයකි. කකුළට වෙඩි වැදී ඇද වැටුණු ත්‍රස්තවාදියා කෙමෙන් සිය අවිය නිහඩ කළද තවත් ත්‍රස්තවාදීන් දෙදෙනෙක් නොනවත්වා වෙඩි තැබුහ. එක් හමුදා කණ්ඩයමක් සැකකටයුතු නිවසට ඉදිරිපසින් ක්‍රියාත්මක වෙද්දි තවත් කණ්ඩායමක් නිවස පිටපසින් ක්‍රියාත්මක වුයේය. ඊට නායකත්වය ලබා දුන්නේ කපිතාන් නවරත්න ඇතුළු කණ්ඩායමයි.

මෙම සැකකටයුතු නිවසේ සිටි ත්‍රස්තවාදීන් දෙදෙනෙක් එකවරම දුවනවා දුටු බව ඉදිරිපස සිටි සෙබළු කීහ. ඒ අනුව මාර්ග කිහිපයක් ආවරණයවන පරිදි අදාල සෙබළු ස්ථානගත කෙරිණි. ඒ වනවිට අතිරේක බල ඇණි අදාල ස්ථානය කරා ළගා වී තිබුණෝය.

එකවරම නිල් පැහැති ස්කුටි යතුරු පැදියක නැගී සැකකටයුතු තිදෙනෙක් පලා යාමට උත්සාහ කළහ. නමුත් වෙඩි වැදි තුවාල ලැබු හා තවත් සැකකරුවෙකු යතුරු පැදිය වේගයෙන් ධාවනය කරවුවද එම යතුරු පැදියටම නැග ගැනීමට උත්සාහ කළ අනෙක් ත්‍රස්ත සැකකරුට ඊට නැගගැනීමට නොහැකිවිය. වෙඩි හුවමාරුව මැදම මෙම සැකකරු ජීවග්‍රහණයෙන් අල්ලා ගැනීමට යුද හමුදාව සමත්වුයේය.

නමුත් මෙහෙයුමේ කෙළවරක් නැත. ඝන අදුරේ වෙඩි හුවමාරුව තවම තිබේ. මද වේලාවක් යනවිට වෙඩි හඩ නැවැතිනි. ප්‍රහාර එල්ල කරමින් සිටි ත්‍රස්තවාදීන්ට මරු තුරුලට යාමට තවත් කල් වේලා නොගියා මෙන්ය.

ඒ වනවිට 24 සේනාංකයේ මාණ්ඩලික නිලධාරි ලුතිතන් කර්නල් ඉන්දික ජයවීර (කොමාන්ඩො) ඇතුළු සෙබළ පිරිස්ද එහි ළගා වී සිටියහ. සෝදිසි කිරීම් අදාල සැකකටයුතු නිවස දක්වා යොමුවුයේ ඒ අනුවය. හමුදා යුනිකෝන් රථයක් මුලින්ම අදාල නිවස අසල දක්වා රියදුරු හා තවත් සෙබළකු සමග පමණක් ධාවනය කෙරිණි. නමුත් කිසිදු ප්‍රතිප්‍රහාරයක් නොවීය. ඒ අනුව නිලධාරින් ඇතුළු සෙබළ කණ්ඩායමක්ම යුනිකෝන් රථයෙන් අදාල නිවස අසලටම ගොස් තවත් ප්‍රහාරයකට ඇර ඇදීමක් තිබේදැයි සැකහැර දැනගත්හ.

මුලින් ප්‍රහාර එල්ල කිරීමට පැමිණි ත්‍රස්තවාදියා ටී-56 ගිනි අවියක් සමග නිවසට ඉදිරිපිටින් පාර මැද මැරී වැටී සිටියේය. කිසිවෙකුත් නිවාසවලින් එළියට පැමිණියේ නැත. රාත්‍රියේ ඒ දක්වා වු මෙහෙයුමේ සවිස්තරයක් 24 සේනාංකාධිපතිවරයා ඒ සැනින් යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායකට දුරකථනයෙන් දැනුම් දුන්නේය.

ත්‍රස්තවාදීන් දෙදෙනෙකුගේ සිරුරු පෙනෙන්නට තිබෙනවා. හමුදාවේ කිසිදු සොල්දාදුවෙකුට සීරීමක්වත් නැහැ. අදාල නිවස දැනට වටකර තිබෙනවා යැයි මේජර ජෙනරාල් මහින්ද මුදලිගේ සිද්ධිය වු ස්ථානයේ සිට යුද හමුදාපතිවරයාට දැනුම් දුන්නේය.

රාත්‍රියේ මෙහෙයුම කරගෙන යාමෙන් ගැටලු ඇතිවෙන්න පුළුවන්. ඒ නිසා දැනට ප්‍රති ප්‍රහාරයක් නැත්නම් වටකරලා තියාගෙන ඉදලා ආපහු උදේට පටන් ගන්න යැයි යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක 24 සේනාංකාධිපති මේජර් ජෙනරාල් මහින්ද මුදලිගේට උපදෙස් දුන්නේය. සිවිල් තුවාලකරුවන් නොමැතිවීමටත් යුද හමුදාවේ සෙබළුන්ට කිසිදු හානියක් සිදු නොමැතිවීමටත් එම උපදෙස හේතුවක් විය.

පසුදා උදෑසන හයට නැවත සෝදිසි මෙහෙයුම ආරම්භ වුයේ යුද හමුදා බෝම්බ නිෂ්ක්‍රිය අංශයේද මැදිහත්වීමෙනි. අදලා පුපුරුවාගැනීම් සිදුවු නිවසට අලලා සදා තිබු අනෙක් නිවසින් යුද හමුදාව සෝදිසි කිරීම් ආරම්භ කළේය. පෙරදින රාත්‍රියේ හමුදා ප්‍රහාරයෙන් මියගිය ත්‍රස්තවාදීන් තිදෙනෙකුගේ සිරුරු තැන තැන වැටී තිබිණි. එක් ත්‍රස්තවාදියෙකුගේ සිරුරක් වුයේ නිවසේ වහල මතය. නමුත් පිපිරුමු සිදුවු නිවසට එකවර ඇතුලුවීමට යුද හමුදා බෝම්බ නිශ්ක්‍රිය අංශ පවා මැළිවුයේය. ඊට හේතුවුයේ ඒ වනවිටත් නිවස දැඩි රස්නයකින් යුතු වීමයි. නමුත් මේජර් සුදුසිංහ අදාල නිවසේ පිටුපස දෙසින් ගොස් ඇතුළට එබී බැලුවේය.

මිනිස් බෝමබවලින් දැවී අලුවී ගිය ත්‍රස්තවාදීන් සිටි නිවසේම පිටුපස කාමරයේ වහල කඩා වැටී තිබිණි. ඒ අතර දෑස් විවරකරගත් කුඩා සිගිත්තියක එකවරම නෙත ගැටීමෙන් මේජර් සුදුසිංහ වික්ෂිප්ත වුයේය. පෙරදා බෝම්බ පිපිරී ගිනියම් වු නිවසේ සිටින කුඩා දැරිය දෑස් විවරකරගෙන මිය ගොස් සිටින දැරියකදැයි ඔහු දෙවරක් සිතන්නට වුයේය. නමුත් ඒ නිමේෂයට හමුදා නිලධාරියා දෙස බලාගෙනම දැරිය අම්මා, මා.. මා.. යැයි වචන කිහිපයක් ගැට ගසන්නට උත්සාහ කළාය.

ඒ ඇය අසලම වැටී සිටි තවත් කාන්තාවක් දෙසට නෙත් යොමු කරමිනි. නමුත් ඒ කාන්තාවට හෝ ජීවතුන් අතර සිටිදැයි නිශ්චයක් නොවීය. නමුත් බෝම්බ නිශ්ක්‍රිය අංශ පවා බාධා කරද්දි හිත උණුකරගත් මේජර් සුදසිංහ කුඩා දරු සිගිත්තාව නිවසින් එළියට ගත්තේ ජනේලයක ග්‍රිල් ඒකක් ගලවා දමමිනි. ඇයව වහා රොහල්ගත කිරීමට ගිලන් රථය දක්වාම ඔසවාගෙන ආවේද ඔහුය. අනතුරුව අනෙක් කාන්තාවද වහාම රෝහල් ගතකිරීමට කටයුතු කෙරිණි.

මෙසේ යුද හමුදාව දිවි ගලවා තිබුණේ බෝම්බ ප්‍රහාර මාලාවක් සැලසුම්කොට මිනිස් ජීවිත 253ක් බිලිගත් ත්‍රස්ත නායක සහරාන් හසීම්ගේ සිවු හැවරිදි දියණිය සහ කුරුණෑගල කැකුණුවෙල පදිංචිකාරියකවු ඔහුගේ බිරිද මොහොමද් හාදියාය. ඔවුන් අම්පාර මහ රෝහලට ප්‍රතිකාර සදහා ඇතුළත් කෙරිණි. ඔවුන්ගේ තත්ත්වය මේ වනවිට සුව අතට හැරී තිබේ. හාදියා මේ වනවිට ඇය දන්නා තොරතුරු රැසක් පොලිස් පරීක්ෂා කිරීම්වලට ලබා දී අවසන්ය.

එම සිද්ධියෙන් අනතුරව නිවස පරික්ෂා කිරීමේදී පුපුරා නොගිය සුදානම්කළ බෝම්බ කිහිපයක්ම සොයාගැනිනි. ඒවා පුපුරා ගියේ නම් මේ කතාව තවත් වෙනස්වන්නට ඉඩ තිබිණි. අදාල නිවස මැද ස්කුටර් යතුරු පැදියක්ද පුපුරා ගොස් ඇති අතර එම යතුරු පැදිය කිසියම් ප්‍රහාරයක් සදහා පුපුරණ ද්‍රව්‍ය පුරවා සකස්කර තිබු බවට යුද හමුදාව සැක පළ කරයි.

අදාල නිවස හා ඒ අවට පරික්ෂා කිරීමේදී සොයාගත් මළ සිරුරු ගණන 15කි. ඒ අතර මරාගෙන මැරෙන බෝම්බ කරුවන් බවට සැකකරන වැඩිහිටි පිරිමි මළ සිරුරු හයක්,  කාන්තා මළ සිරුරු තුනක් සහ දරුවන් හයදෙනෙකුගේ මළ සිරුරු වුහ.  ඒ අතර සහරාන් හසීම්ගේ පියාවන  මොහොමඩ් හසීම්, සහෝදරයන් දෙදෙනා වු සයිනි හසීම් සහ රිල්වාන් සහීම්, අට හැවරිදි ඔහුගේ පුතා සහ රිල්වාන්ගේ බිරිද නෆ්හා ද සිටිති. අනෙක් මරුමුවට පත් කාන්තාවන් දෙදෙනා කටුවපිටිය සහ මඩකළපුව සිවොන් දේවස්ථානයට ප්‍රහාර එල්ල කළ මරාගෙන මැරෙන සාමාජිකයන්ගේ බිරින්දෑවරුන් බවට පොලිසිය සැක කරයි.

රිල්වාන්ගේ කාත්තන්කුඩි නිවසේ තිබි තවත් මරාගෙන මැරෙන බොම්බ ඇදුම් කට්ටලයකට සුදානම් කළ ඇදුමක් පසුගිය බ්‍රහස්පතින්දා දිනයේද ආරක්ෂක අංශ විසින් සොයාගෙන තිබිණි. ඊට පෙරදින කාත්තන්කුඩිය තව්හිද් ජමාත් පල්ලිය අසල කප්පල්ආලින් නිවසේ සිදුකළ පරික්ෂාවකදී සහරාන් හසීම්ගේ සොහොයුරියවන 25 හැවැරිදි මුහම්මදු හෂීම් මදනියා සැකපිට අත්අඩංගුවට ගෙන තිබුණේ සහරාන් දී තිබු බවට සැක කරන රුපියල් විසි ලක්ෂයක මුදල් සමගය.

ඇය මෙසේ අත්අඩංගුවට පත්වීමට පෙර මෙරට ඉංගිරිසි ජාතික පුවත්පතකට විශේෂ සම්මුඛ සාකච්ඡාවක්ද දී තිබුණාය. ඇය එහිදි මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කළ සහරාන් හසීම්  සහ පවුලේ ඇතැම් විස්තර අනාවරණය කර තිබුණේ සහරාම් හසීම් සිය සොහොයුරා සමග තමන්ට දුරස්ථබාවයක් තිබු බවත් ඊට හේතුවුයේ සිය සැමියා ඔහුගේ මතවාදවලට අකමැතිවීමත් නිසා බවයි.

මෙවැනි අත්අඩංගුවට පත්වීම්වලට අමතරව ප්‍රහාරයකට සුදානමකට සැලසුම් කරමින් සිටියාදැයි සැකකරන කාන්තා සුදු ඇදුම්, පුපුරණ ද්‍රව්‍ය, අන්තගාමි පොත්පත්, අවි ආයුධ නැගෙනහිර ඇතුළු මෙරට ප්‍රදේශ ගණනාවකින් හමුවෙමින් තිබේ. බොහෝ අවි ආයුධ සොයාගන්නේ දැන් මාර්ගයට විසිකොට තිබියදීය. ඒ ඇතැම්විට ආරක්ෂක අංශ නොමග යැවීමට විය හැකිය. ත්‍රස්තයන්ගේ දෙවැනි තෙවැනි හෝ අරමුණක බෞද්ධ පන්සල් ඉලක්ක වුයේදැයි ජනතාව විමතියෙන් බලන්නේ ඒ නිසාය.

ඒ කෙසේ වෙතත් අම්පාර සයින්තමරුතු ඇතුළු ප්‍රදේශ ගණනාවකට මේ වනවිටත් රාත්‍රියට ඇදිරි නීතිය පැනවේ. ආරක්ෂක අංශ ආරංචි මාර්ග අනුව නම් සහරාම් හසීම්ලාගේ මතුපිටින් පෙනෙන කතාවට වඩා නොපෙනෙන ගැඹුරක් තිබේ. එය ජාත්‍යන්තර අයි.එස්.අයි.එස් ත්‍රස්තවාදයට නෑ කම් කියන කතාවටත් වඩා රහසිගත වැඩපිළිවෙලකි. ඔවුන් දැන් මේ වික්ෂිප්ත ප්‍රහාරයෙන් මුසපත්වී සිටියි.

මාවනැල්ලෙ බුදුපිළිම කැඩු කණ්ඩායම හා සහරාන්ගේ කණ්ඩායම විරසක නොවන්නට ඇතැම්විට පාස්කු ඉරිදා තවත් ලේ ගංගා ගලා යාමට බොහෝ ඉඩ තිබිණි. ඒ නිසා ශ්‍රි ලංකාවේ ජනතාව බිය වැද්දවීමේ මනෝ මෙහෙයුම් ඔවුන් පටන් ගත්තේ අද ඊයෙක නොවේ. එයාලා වගේ නෙමෙයි මෙයාලා පටන්ගත්තොත් යැයි මනෝ මුල වැකිය පසුගිය කාලයේ සමාජගත කළේත් ඔවුන්මය. ඒ අතරවාරයේ දේශපාලනයේ සංහිදියාවට සහජීවනයට මුවා වෙමින් මොවුන් තමන්ගේ අන්තවාදය පෝෂණය කළේය.

දැන් බොහෝ දේ සිදුවී හමාරය. නමුත් කළ හැකි බොහෝ දේ ඉතිරිව තිබේ. සයින්තමරුතු ත්‍රස්ත රෑන කොටුකරගත් පමණින් හෝ අත්අඩංගුවට ගත් ත්‍රස්ත සැකකරුවන්ගේ වහසි බස්වලින් උද්මායට පත්වී මාධ්‍ය සංදර්ශන පැවැත්වීමෙන් ප්‍රශ්නයට පිළිතුරු ලැබෙන්නේ නැත. නියපොත්තෙන් කඩන්නට තිබෙන දේ පොරවෙන් කපන්නට ඉතිරි නොකරන්නැයි කියමනක් තිබේ. ඒ නිසා හදිසි නීතිය ක්‍රියාත්මක කරමින් තවත් අවුරුද්දක් දෙකක්වත් මේ එකම මාතෘකාවේ අලගිය මුලගිය තැන් සොයා බැලිය යුතුය.  නිර්භීත පොලිස් හා හමුදා සමාජිකයන් තබා ඇත්තේ එම පියවර නම් රට කරවන්නන්ගේ හා ආරක්ෂක ප්‍රධානීන්ගේ උපරිම සහය මේ මොහොතේ හිමිවිය යුත්තේ ඔවුන්ටය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්