මුතුරාජවෙල නීතිවිරෝධී ඉදිකිරිම් ගැන  උසාවියෙන් නීතිපතිට නියෝගයක් 

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ප්‍රබෝධා හෙට්ටිආරච්චි

 

මුතුරාජවෙල තෙත්බිම් කලාපය තුළ සිදුවන නීතිවිරෝධී ඉදිකිරීම් හා සංවර්ධන කටයුතු පිළිබද සොයා බලා මේ මස 09 වනදා අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙස අභියාචනාධිකරණය නීතිපතිවරයාට නියෝග කර තිබේ.

 

ඒ කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් සහ පරිසර යුක්ති කේන්ද්‍රය විසින් ඉදිරිපත් කර තිබූ පෙත්සම් ඊයේ (03) කැඳවූ අවස්ථාවේදීය.

 

මුතුරාජවෙල තෙත්බිම් කලාපය තුළ සිදුවන නීති විරෝධී ඉදිකිරීම් හා සංවර්ධන කටයුතු අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා එම පෙත්සම් ඉදිරිපත් කර තිබුණි.

 

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු අර්ජුන ඔබේසේකර සහ මායාදුන්නේ කොරයා යන විනිසුරු මඩුල්ල විසින් නියෝග කළේ පෙත්සම් සලකා බැලීම සඳහා මාර්තු මස 30 වනදා කැඳවන ලෙසයි.

 

කාදිනල් හිමිපාණන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශමිල් පෙරේරා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මුතුරාජවෙල සංරක්ෂිත වනාන්තර කලාපය තුළ නීතිවිරෝධී ලෙස එළිපෙහෙළි කිරීම් හා සංවර්ධන කටයුතු අඛණ්ඩව සිදුවෙමින් පවතින බව සඳහන් කළේය.

 

එම නිසා එම කටයුතු වැළැක්වීමේ තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසද ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

 

එම අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් ප්‍රියන්ත නාවාන මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මුතුරාජවෙල සංරක්ෂිත කලාපය තුළට කැලි කසළ බැහැරකිරීම වළක්වාලමින් 2017 වසරේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තහනම් නියෝගයක් නිකුත් කළ බවත් එම තහනම් නියෝගය වර්තමානයේත් බලපැවැත්වෙන බව සඳහන් කළේය.

 

එහි දී කාදිනල් හිමිපාණන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ චමිල් පෙරේරා මහතා පෙන්වා දුන්නේ, එම තහනම් නියෝගය තුළින් කැලිකසළ බැහැර කිරීම පමණක් තහනම් කෙරෙන අතර නීති විරෝධී ලෙස ඉදිකිරීම් හා සංවර්ධන කටයුතු අදාළ කලාපය තුළ සිදුවෙමින් පවතින බවය.