මෙගාවොට් 135ක නව සූර්ය විදුලි බලාගාරයක් ස්ථාපිත කෙරේ !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ත්‍රිණාමලය , සාම්පූර් ප්‍රදේශයේ මෙගා වොට් 135ක සූර්ය විදුලි බලාගාරයක් ස්ථාපිත කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

ඉන්දියාවේ ජාතික තාප විදුලි සංස්ථාව සහ ලංකා විදුලි බල මණ්ඩලය ඒ සම්බන්ධයෙන් එකඟතාවයකට පැමිණ ඇති අතර අදියර 2ක් යටතේ එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නියමිතයි. එම ව්‍යාපෘතිය පළමු අදියර යටතේ මෙගාවොට් 50ක සූර්ය බලශක්ති ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති අතර ඒ සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 42යි දශම 5ක මුදලක් ආයෝජනය කිරීමට නියමිතව තිබෙනවා.

එම අදියර යටතේ සාම්පූර් සිට කප්පල්තුරේ දක්වා කිලෝ මීටර 40ක දිගින් යුත් කිලෝවොට් 220ක සම්ප්‍රේෂණ මාර්ගයක් ඉදි කිරීමට අපේක්ෂිත අතර ඒ සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 23යි දශම 6ක මුදලක් වැය වනු ඇති බවටයි ඇස්තමේන්තු ගත කර ඇත්තේ. එම පළමු අදියර 2024 වසරේ සිට 2025 වසර දක්වා කාලය තුළ නිම කිරීමට සැලසුම් කර තිබෙනවා.

ව්‍යාපෘතියේ දෙවන අදියරයේදී අමෙරිකානු ඩොලර් මිලියන 72ක ආයෝජනයක් යටතේ මෙගාවොට් 85ක ධාරිතාවකින් යුත් සූර්ය විදුලි බලාගාරයක් ඉදි කිරීමට නියමිතයි.

එම අදියර යටතේ ජනනය කරන විදුලිය බෙදා හැරීම සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 42ක ඇස්තමේන්තුගත වියදමකින් කප්පල්තුරේ සිට නව හබරන දක්වා කිලෝමීටර් 76ක දිගින් යුත් කිලෝවොට් 220ක ධාරිතාවක් සහිත සම්ප්‍රේෂණ මාර්ගයක් ඉදි කිරීමට සැලසුම් කර තිබෙනවා.