මෙරට කොවිඩ් නිසා සිදුවූ   පළමු වෛද්‍ය මරණය වාර්තා වෙයි

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

* ඊයේත් කොවිඩ් මරණ 7ක්
* බිළිඳකුත් කොවිඩ් නිසා මරුට
ප්‍රබෝධා හෙට්ටිආරච්චි
මෙරට කොවිඩ්-19 ආසාදිතව මියගිය පළමු වෛද්‍යවරයා ලෙස වෛද්‍ය ගයාන් දන්තනාරායනගේ මරණය ඊයේ (2) ගාල්ල කකරාපිටිය රෝහලෙන් වාර්තා විය.
රාගම ශික්ෂණ රෝහලේ සේවය කළ දන්තනාරායන වෛද්‍යවරයා කොවිඩ් ආසාදිත වීමෙන් පසු ගාල්ල කරාපිටිය රෝහලට මාරු කෙරිණ.
එහිදී දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී වෛද්‍යවරයා මියගොස් ඇත.
මියයන විට ඔහුගේ වයස අවුරුදු 32කි.
වෛද්‍යවරයාගේ මරණයත් ඇතුළුව ඊයේ (2) කොවිඩ් මරණ 7ක් වාර්තා විය.
ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් ආසාදිත මරණ ගණන 330කි.
මෙලෙස මියගොස් ඇත්තේ වැලිගම ප්‍රදේශයේ පදිංචිව සිටි 67 හැවිරිදි කාන්තාවක්, කොළඹ 15 ප්‍රදේශයේ පදිංචිව සිටි 82  හැවිරිදි කාන්තාවක්, වත්තේගම ප්‍රදේශයේ පදිංචිව සිටි 73 හැවිරිදි කාන්තාවක්,  නිට්ටඹුව ප්‍රදේශයේ පදිංචිව සිටි කාන්තාවක්, ගෙලිඔය ප්‍රදේශයේ පදිංචිව සිටි  77 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, කොළඹ 02 ප්‍රදේශයේ පදිංචිව සිටි මාස 18ක් වයසැති පිරිමි දරුවෙක් සහ රාගම ප්‍රදේශයේ පදිංචිව සිටි  32 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි.
මේ අතර  බලපිටිය මූලික රෝහලේ සේවය කළ වෛද්‍යවරු දෙදෙනෙකු කොවිඩ් ආසාදිත බවට හඳුනාගෙන තිබේ.
ගාල්ල වසංගත රෝග විද්‍යාඥ, විශේෂඥ වෛද්‍ය වෙනුර සිරංගආරච්චි මහතා පැවසූවේ ආසාදිත වෛද්‍යවරු දෙදෙනාගේ ආශ්‍රිතයින් ලෙස හඳුනාගත් එම රෝහලේම තවත් වෛද්‍යවරු පිරිසක් මේ වනවිට නිරෝධායන කටයුතු සඳහා යොමුකර ඇති බවය.
පෙරේදා (1) සිදුකර තිබූ ඇන්ටිජන් පරීක්ෂණ ඔස්සේ අදාළ ආසාදිත වෛද්‍යවරු දෙදෙනා හඳුනාගෙන තිබුණි.