නවතම පුවත්

මෙරට ප්‍රථම කේබල් කාර් ව්‍යාපෘතිය සූදානම් !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

රටේ ආර්ථිකයට මෙන් ම සංචාරක කර්මාන්තයට සුවිශේෂී ආයෝජනයක් වශයෙන් මෙරට ප්‍රථම කේබල් කාර් ව්‍යාපෘතිය ආරම්භ කිරීමට   නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය පියවර ගෙන ඇත

ඊට අදාළ ගිවිසුමට  අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ  උපදෙස් පරිදි පසුගියදා අත්සන් තැබිණ

මේ අනුව ශ්‍රී ලංකාව සීඝ්‍ර සංවර්ධන මාවතකට යොමු කිරීමේ අරමුණින් ක්‍රියාත්මක කරන විශේෂ සංවර්ධන ව්‍යාපෘති අතර එක් ව්‍යාපෘතියක් වූ නුවරඑළිය නගර සංවර්ධනයට ඇතුළත් කේබල් කාර් ව්‍යාපෘතිය ආරම්භ කිරීම පසුගිය දා නිල වශයෙන් ආරම්භ කළ බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය පවසයි.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් හා මඟ පෙන්වීම මත ක්‍රියාත්මක කෙරෙන නුවරඑළිය සංවර්ධන ව්‍යාපෘතිය අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයේ ඇතුළත් තවත් සංවර්ධන ව්‍යාපෘතියකි.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් අනුව නාගරික සංවර්ධන, අපද්‍රව්‍ය බැහැරලීම සහ ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතාගේ මෙහෙයවීමෙන් නාගරික සංවර්ධන අධිකාරිය මඟින් මෙම ව්‍යාපෘතිය අධීක්ෂණය කරනු ලබයි.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ සංචාරය සඳහා පැමිණෙන දෙස් විදෙස් සංචාරකයින් ඉලක්ක කරගනිමින් ක්‍රියාත්මක කෙරෙන මෙම කේබල් කාර් ව්‍යාපෘතිය මඟින් නුවරඑළියට පැමිණෙන සංචාරකයින්ට සුව පහසුව සහ විනෝදාස්වාදය මෙන්ම සියලු පහසුකම් ලබාදීමට ද අපේක්ෂා කෙරේ. නුවරඑළියේ ක්‍රියාත්මක කෙරෙන අනෙක් සංවර්ධන ව්‍යාපෘති මෙන් ම මෙම ව්‍යාපෘතිය ද දෙස්, විදෙස් සංචාරකයින්ගේ වැඩි අවධානයක් හිමිකරගනු ඇති බව අපේක්ෂා කෙරේ. එමෙන් ම මෙම කේබල් කාර් ව්‍යාපෘතිය සංචාරකයින්ට නැවුම් අත්දැකීමක් ගෙන දීමට ද සමත් වෙනු ඇතැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය විශ්වාස පළ කරයි.

නානුඔය සිට නුවරඑළිය දක්වා අදියර 02 කින් කිලෝමීටර් 04 ක් දුරට දිවෙන මෙම කේබල් කාර් ව්‍යාපෘතිය තුළින් පරිසරයේ චමත්කාරය විඳ ගැනීමටත් ඉහළ අහසේ සිට අවට ප්‍රදේශ විවිධ කෝණවලින් නැරඹීමටත් අවස්ථාව උදාකර දීම මෙහි මූලික අරමුණයි. සංචාරක ආකර්ෂණය දිනාගෙන ඇති බොහෝ රටවල මෙවැනි කේබල් කාර් ව්‍යාපෘති ක්‍රියාත්මක වේ.

නුවරඑළිය දිස්ත්‍රික්කය දෙස් විදෙස් සංචාරකයින් බහුලව ගැවසෙන ප්‍රදේශයකි. මෙම ප්‍රදේශයට සංචාරකයින් බහුලව ආකර්ෂණය කරගැනීමට ද ඉවහල්වන බව නාගරික සංවර්ධන අධිකාරිය පෙන්වා දෙයි.

සියලු සංවර්ධන කටයුතු සඳහා ප්‍රධාන සහ මූලික සැලසුම් මේ වන විට සකස් කර අවසන් කර තිබේ. ඉදිරි මාස 18 ඇතුළත යෝජිත කේබල් කාර් ව්‍යාපෘතියේ වැඩ කටයුතු අවසන් කිරීමට අදාළ සියලු සැලසුම් මේ වන විට සකස් කර තිබේ.

වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍ය සී.බී. රත්නායක මහතා ප්‍රකාශ කළේ නාගරික සංවර්ධන අධිකාරිය නුවරඑළියට පැමිණෙන සංචාරකයින්ට අවශ්‍ය පහසුකම් සැපයීම සහ විනෝදාස්වාදය සැපයීම සඳහා ගන්නා ලද මෙම පියවර ගැන ඉතාමත් සතුටට පත්වන බවයි.

සංචාරකයින්ට සතුට සහ විනෝදයයි අවශ්‍ය වන්නේ. ඒ වගේම නගර අලංකරණයත් අවශ්‍යයි. මෙය සංචාරක අමාත්‍යාංශයේ වගකීමයි. සංචාරක මණ්ඩලයේ වගකීමයි. ඒ වගේමයි අධිවේගී මාර්ග පද්ධතිය. තව අවුරුද්දකින් දෙකකින් මහනුවරට අධිවේගී මාර්ගයක් ඒවි. එතකොට නුවරඑළිය සංචාරක පාරාදීසයක් බවට පත් වේවි. මේ සියල්ලත් සමඟ ම තමයි කේබල් කාර් ව්‍යාපෘතිය එන්නේ. මේ ව්‍යාපෘතිය දේශීය විදේශීය ආයෝජකයින් දෙදෙනෙකුගේ එකතුවක්. මේ හරහා විදේශීය සංචාරකයින් සහ ආයෝජකයින් ගෙන්වීම අපේ අපේක්ෂාවයි. ඒ තුළින් ලංකාවේ ආර්ථිකය වැඩිදියුණු කිරීම කළ හැකියි. සංචාරකයින්ගේ පැමිණීමෙන් ආර්ථිකය දියුණුවනවා මෙන් ම කඩාවැටී තිබෙන සංචාරක ආකර්ෂණය ද යළි නගාසිටුවාලිය හැකියි. සංචාරක ව්‍යාපාරයට සම්බන්ධ සියල්ලන්ටම එමඟින් නව නැගිටීමක් සිදුකළ හැකියි. මේවා තමයි අපි අපේක්ෂා කරන ප්‍රතිලාභ වන්නේ.”

යනුවෙන් ද වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍ය සී.බී. රත්නායක මහතා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා මහතා සඳහන් කළේ මෙය ඉතා වටිනා අමරණීය අවස්ථාවක් බවට පත් වීම නිසැකව ම සිදු වන බවයි.

අද මෙම ව්‍යාපෘතිය සඳහා තබන අත්සන්වලින් මේ රටට උදා වන්නේ සුබ කාලයක්. අද දින අත්සන් තබන මෙම ව්‍යාපෘතිය ඇමෙරිකානු ඩොලර් මිලියන 55 ක දැවැන්ත ව්‍යාපෘතියක්. මෙම ව්‍යාපෘතිය සියලු හවුල්කරුවන් මෙවැනි දැවැන්ත සංවර්ධන කටයුතු කිරීමේ පළපුරුද්ද හිමි අයයි. ඔවුන් සියල්ලන්ගේම අත්දැකීම් වසර 20 ක් 25 ක් තරම් දුරට විශාලයි. වර්තමාන අතිගරු ජනාධිපතිතුමා ආරක්ෂක ලේකම්ව සිටි සමයේ තමයි මේ සියලු සංවර්ධන ව්‍යාපෘති සැලසුම් කරනු ලැබුවේ. එහි දී ක්‍රියාත්මක කරනු ලැබූ සංවර්ධන ව්‍යාපෘතීන් දේශපාලන බලය වෙනස් වීම තුළ අතරමග නතරවීම්, කඩාකප්පල් වීම් මඟින් එම සංවර්ධන ක්‍රියාවන්ට එල්ල කළේ අහිතකර තත්වයක්. නමුත් අද නැවතත් එම සංවර්ධන ක්‍රියාවන් ඇරඹී තිබෙනවා. ඒ වගේම වේගවත්ව ක්‍රමානුකූලව සංවර්ධනය ඉදිරියට ගමන් කරනවා. මේ මොහොතේ ශ්‍රී ලංකාව සංවර්ධනය කරා ගමන් කරමින් තිබෙනවා. මෙම ව්‍යාපෘතිවලට සියල්ලන්ගේම, කැපවීමෙන් උනන්දුවෙන් මෙම නිවැරදි ඇරඹුම අවසානයක් දක්වා ගෙන යනවා. නිවැරදි තීරණ ඉතාමත් ඉක්මනින් ගැනීමටත්, එලෙසම ක්‍රියාත්මක කිරීමටත් අපි කිසිවිටෙකත් පසුබට වෙන්නේ නැහැ.”

 

යනුවෙන් ද නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා මහතා සඳහන් කළේය.

 

නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්, වරලත් නගර නිර්මාණ ශිල්පී ප්‍රසාද් රණවීර මහතා ප්‍රකාශ කළේ නුවරඑළිය කේබල් කාර් ව්‍යාපෘතිය ලංකාවේ සංචාරක කර්මාන්තය සහ ලංකාවේ ආර්ථිකය නැවත ඔසවා තබන ව්‍යාපෘතියක් වන බවයි.

 

“මේ ව්‍යාපෘතිය විශේෂයි. ඒ රටේ මහා භාණ්ඩාගාරයට බරක් නොවී දේශීය ආර්ථිකයට බරක් නොවී විදේශීය ආයෝජකයන් ගලාගෙන එන ව්‍යාපෘතියක් වීම නිසයි. සංචාරක මණ්ඩලය සහ සංචාරක අමාත්‍යාංශය තමයි මේ ව්‍යාපෘතිය ආරම්භ කරන්නේ. නාගරික සංවර්ධන අධිකාරිය පාර්ශ්වකරුවෙකු හැටියටයි සම්බන්ධ කරගන්නේ. මේ සඳහා අවශ්‍ය සැලසුම් සහ වටපිටාව සකස් කිරීමේ වගකීම භාරගනිමින්. විශේෂම දේ පරිසරය රැක ගනිමින් පරිසරයේ අනන්‍යතාවය රැක ගනිමින් නුවරඑළිය දිස්ත්‍රික්කයට අලුත් දෙයක් එකතු කරමින් සංචාරක කර්මාන්තය දියුණු කරන විශේෂ ව්‍යාපෘතියක් ලෙස නානුඔය සිට නුවරඑළිය දක්වා කිලෝමීටර් 04 ක් සහ අදියර 02 කින් කේබල් කාර් ව්‍යාපෘතියක් ඉදි කිරීම මෙහි මූලික සැලසුමයි. මාස 18 ක් වගේ කෙටි කාලයකින් එම ව්‍යාපෘතිය අවසන් කරනවා. මේ වන විට ව්‍යාපෘතියට අවශ්‍ය පාරිසරික ඇගයීම් වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යාංශය, නාගරික සංවර්ධන අධිකාරිය සහ පරිසරයට සම්බන්ධ සියලු ආයතනවල එකතුවෙනුයි මේක කරන්නේ. ඒ නුවරඑළියේ පවතින පරිසරයට කිසිදු හානියක් නොවන ආකාරයට. මේ සඳහා දේශීය, විදේශීය නව තාක්ෂණය යොදා ගැනීමට නියමිතයි. මේ වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 55 ක ආයෝජනයක් සිදු කරනවා. මේ ව්‍යාපෘතිය ඉදිරි අනාගතයට ඉතා වැදගත් වේවි. මේ රටේ අධ්‍යාපනය ලබන දරුවන්ට ඉතා ප්‍රයෝජනවත් එකක් වන බව කිව හැකියි. ඒ අනුව මෙය ඉතාමත් වටිනා ව්‍යාපෘතියක් බව කිව යුතුයි.”

 

යනුවෙන් ද නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්, වරලත් නගර නිර්මාණ ශිල්පී ප්‍රසාද් රණවීර මහතා සඳහන් කළේය.

 

ස්විඩන් විදේශීය ආධාර ක්‍රමය යටතේ සම්පූර්ණව ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය 30 අවුරුදු බදු පදනමක් මත ඇමෙරිකානු ඩොලර් මිලියන 55 ක මුදලකින් සංවර්ධනය කෙරේ. මේ පිළිබඳ වන අවබෝධතා ගිවිසුම පසුගිය දා නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ශ්‍රවණාගාරයේ දී අත්සන් කරනු ලැබූ අතර එම අවස්ථාව සඳහා වනජීවී සහ වන සංරක්ෂණ අමාත්‍ය සී.බී. රත්නායක, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් උදය නානායක්කාර, නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් වරලත් නගර නිර්මාණ ශිල්පී ප්‍රසාද් රණවීර, ස්විඩන්හි අවුට්ඩෝර් ඉංජිනියරින් සමාගමේ සභාපති හා අවුට්ඩෝර් ඉංජිනියරින් ලංකා පෞද්ගලික සමාගමේ අධ්‍යක්ෂක ඔස්බෝල් ගාබර් යන මහත්වරු සහභාගී වී සිටියහ.

 

අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සහ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය, ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙසින් නාගරික සංවර්ධන, අපද්‍රව්‍ය බැහැරලීම සහ ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති, විශ්‍රාමික මේජර් ජෙනරාල් උදය නානායක්කාර, නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්, වරලත් නගර නිර්මාණ ශිල්පි ප්‍රසාද් රණවීර යන මහත්වරුන්ගේ අධික්ෂණයෙන් මෙම ව්‍යාපෘතියේ නාගරික සංවර්ධන අධිකාරියට අදාල කාර්යයන් සිදු කරනු ලබයි.

 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්